ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ලකුණු 94ක් පිටුපසින්

Sri Lanka tour of West Indies

2
Sri Lanka tour of West Indies

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ පුහුණු තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 124ක හඹා යන ඉනිමකට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය 3 වැනි දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 30ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන්ට මෙම තරගයෙන් ජයග්‍රහණය කිරීම සඳහා අවසන් දිනයේ අවශ්‍ය වන්නේ ලකුණු 94ක් වන අතර ඒ සඳහා තවත් කඩුලු 9ක් ඉතිරි ව තිබෙනවා.  

 Antigua හි Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 205ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 281ක් ලබා ගන්නවා.  

බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් කණ්ඩායමේ 2 වැනි ඉනිම ලකුණු 199කට සීමා වෙන අතර ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගැනීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් ලහිරු උදාර නැවතත් අඩු ලකුණුවලට තම ඉනිම අහිමි කර ගන්නවා. ඔහු මෙවර ලබා ගන්නේ පන්දු 10ක දී ලකුණු 2ක්.   

තරගය 3 වැනි දිනයට නතර කරන විට නිශාන් මදුශ්ක පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද සහ දිනේෂ් චන්දිමාල් පන්දු 12කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 2ක් ද ලබා සිටියා. 

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Alzarri Joseph සතු වුණා. 

තරගයේ තෙවැනි දිනය ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 174ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 54ක් සහ සොනාල් දිනූෂ නොදැවී ලකුණු 5ක් ලබා සිටියා.  

ඔවුන් දෙදෙනා අතුරින් දිනේෂ් චන්දිමාල් පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 74ක් ලබා ගත් අතර සොනාල් දිනූෂ පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා. 

ඊට අමතර ව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට කැපී පෙණෙන ඉනිමක් එක් කරන්නේ මිලාන් රත්නායක. ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 41ක් එක් කිරීමට සමත් වෙනවා 

ඉනිමේ අවසන් පිතිකරුවන් වූ ප්‍රභාත් ජයසූරිය (6), ලහිරු කුමාර (0), විශ්ව ප්‍රනන්දු (3) සහ අසිත ප්‍රනාන්දු (4*) තම ඉනිම් අවසන් කරන්නේ අඩු ලකුණුවලටයි.   

කඩුලු දවා ගැනීමේ දී Nial Smith ලකුණු 58කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Keemo Paul කඩුලු 3ක් සහ Alzarri Joseph කඩුලු 2ක් දවා ගත්තා.  

ලකුණු 76ක් පිටුපසින් සිටිමින් තම 2 වැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් කණ්ඩායම එවර ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 199ක් පමණයි.  

එම ඉනිමේ ආරම්භක කඩුලු ත්‍රිත්වය ලකුණු 24ක් වෙද්දී දැවී යන අතර ඊට පසුව 4 වැනි කඩුල්ල සඳහා පන්දු 97ක දී ලකුණු 54ක සබඳතාවක් එක් කිරීමට ආරම්භක පිතිකරු Ackeem Auguste සහ Kemol Savory සමත් වෙනවා.  

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Kemol Savory ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යද්දී පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා.  

Ackeem Auguste ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී 83කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබා සිටියා.  

ඉන් අනතුරු ව නැවත බටහිර ඉන්දීය කොදෙව් ඉනිමට සාර්ථක ලකුණු සබඳතාවක් එක් වෙන්නේ 7 වැනි කඩුල්ලටයි. Joshua Bishop සහ Keemo Paul එක් වූ එම සබඳතාව ලකුණු 74ක් අතර ඊට වැය වන්නේ පන්දු 68ක් පමණයි.  

එහි දී Keemo Paul පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත් අතර Joshua Bishop ඉනිමේ අවසන් කඩුල්ලට දැවී යද්දී පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 68ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී අසිත ප්‍රනාන්දු, සොනාල් දිනූෂ සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් බැගින් දවා ගත් අතර අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය ලහිරු කුමාර සතු වුණා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් XI කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (61.4) Kirk McKenzie 58, Kevin Wickham 20, Keemo Paul 36, Nial Smith නොදැවී 19, අසිත ප්‍රනාන්දු 2/26, ලහිරු කුමාර 4/39 
  • ශ්‍රී ලංකාව – පළමු ඉනිමසියලුම දෙනා දැවී 281 (70.4) නිශාන් මදුශ්ක 46, දිනේෂ් චන්දිමාල් 74, ධනංජය ද සිල්වා 34, සොනාල් දිනූෂ 36, මිලාන් රත්නායක 41, Nial Smith 4/58, Keemo Paul 3/67, Alzarri Joseph 2/45 
  • බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් XI කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 199 (45.2) Ackeem Auguste 46, Kemol Savory 27, Keemo Paul 29, Joshua Bishop 68, අසිත ප්‍රනාන්දු 3/27, ප්‍රභාත් ජයසූරිය 3/70, සොනාල් දිනූෂ 3/42 
  • ශ්‍රී ලංකාව -දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 30 (8.0) නිශාන් මදුශ්ක නොදැවී 24 

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 94ක් පිටුපසින්. 

තරගය (22) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<