වනිඳුව මට්ටු කරන්න සූදානම් වන බංගලි සැලසුම්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ එක්දින තරග සංචාරය 2021

283
Bangladesh gear up for the Hasaranga challenge

මෑත කාලීනව මෙරට සීමිත පන්දුවාර තරග බිමෙන් බිහි වූ කෙටි කලක් තුල දී දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ අවධානය තමන් දෙසට යොමු කර ගැනීමට සමත් වූ සුවිශේෂී තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස වනිඳු හසරංග හඳුන්වාදිය හැක්කේ එක්දින සහ විස්සයි විස්ස තරග බිමේ මේ දක්වා ඔහු දක්වා ඇති දක්ෂතා සියල්ලන්ම සැලකිල්ලට ගනිමිනි.

පන්දු යැවීමේ අංශය තම ප්‍රධානතම අවිය කරගනිමින් සාම්ප්‍රදායික පා දඟපන්දු යවන්නෙකුගේ භූමිකාවෙන් ඔබ්බට ගොස් ඉතාමත් හොඳ පන්දු සංකලනයන්ගෙන් ප්‍රතිවාදී පිතිකරුවන් මට්ටු කරන වනිඳුගේ තර්ජනාත්මක පන්දු යැවීම මේ වන විට ලෝකයේ බොහෝ කණ්ඩායම් හට අභියෝගයක් බවට පත්වී තිබෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම හට ද එම අත්දැකීමට මුහුණ දීමට නුදුරේ දී ම අවස්ථාවක් සලසා දෙමිනි.

ප්‍රතිවාදී පිතිකරුවන් වැඩි පිරිසක් යලි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වූ වනිඳුගේ ප්‍රධානතම රහස් අවිය ලෙස සැලකෙන Googly පන්දුව හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දක්වනු ඇතැයිද යන්න මේ වන විට ප්‍රශ්නාර්ථයක්ව පවතින අතර එය අමතර වාසියකට හරවා ගනිමින් ඉදිරි තරග සංචාරය තුල දී තම දක්ෂතා උපරිම තලය වෙත රැගෙන ඒමට වනිඳු මේ වන විට දැඩි උනන්දුවෙන් පසුවන බව වාර්තා වේ.

බංග්ලාදේශ පළමු පෙළ තරගාවලියන්හී පසුගිය කාලසීමාව පුරාවටම විශේෂඥ පා දඟපන්දු යවන්නන් බිහි නොවීම සම්බන්ධයෙන් මේ වන විට කතිකාවතක් නිර්මාණය වී ඇති අතර මේ හේතුව නිසාවෙන්ම වෙනත් කණ්ඩායම් සමඟ පැවැත්වෙන තරගයන් හීදි පා දඟපන්දු යවන්නන් හට මුහුණ දීම විශාල අභියෝගයක් බවට පත් වී ඇති බව එරට ක්‍රිකට් විචාරකයන් විසින් පෙන්වා දී තිබේ.

වයස අවු-19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා සිය දායකත්වය ලබා දී කෙටි කලක් ගතවීමෙන් අනතුරුව ජාතික කණ්ඩායමේ දොරටු විවෘත කරගන්නා වනිඳු එක්දින පිටියේ දී තමන් වෙත ලැබුණු පළමු අවස්ථාවේ දී ම ඔහුගේ තේරීමට වටිනාකම් ලබා දීමට සමත් වූයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සහභාගී වූ තම මංගල එක්දින තරගයේ දී ම කඩුලු ත්‍රිත්වයක් (Hattrick) දවාලූ ලොව තෙවැනි ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් සියල්ල යලිත් වරක් අලුත් කරමිනි. 

තවත් ක්‍රිකට් පුවත්:

Rashid Khan, Adam Zampa වැනි සීමිත පන්දුවාර තරග පිටියේ අත්දැකීම් බහුල පා දඟපන්දු යවන්නන් විසින් යොදාගන්නා මැඳැගිල්ලෙන් පන්දුව දඟ කැවීමේ උපක්‍රමය ඉතාමත් මැනවින් ප්‍රගුණ කර ඇති වනිඳු හට රිසි සේ පහර එල්ල කිරීමට පිතිකරුවන් හට නොහැකි වී තිබෙන්නේ ඔහුගේ Googly පන්දුව සාමාන්‍ය දඟ පන්දුවත් සමඟින් හරියාකාරව වෙන්කර හඳුනා ගැනීමට කාලවේලාවක් පිතිකරුවන් හට නොමැති නිසාවෙනි.

සාමාන්‍යයෙන් Googly පන්දුවක් යැවීමට එන පන්දු යවන්නෙකු හඳුනා ගැනීම සඳහා පිතිකරුවන් යොදා ගන්නා ප්‍රධානතම ක්‍රමවේදය වන්නේ පළමුව පන්දුව දෙස නොව පන්දු යවන්නාගේ අත්ල නිරීක්ෂණය කරමින් ඊළඟ පියවර වෙත ගමන් කිරීමයි. එහි දී බොහෝමයක් පා දඟපන්දු යවන්නන්ගේ අත්ල පිටුපස ප්‍රදේශය පිතිකරුවා හට පළමුව නිරාවරණය වන නිසාවෙන් Googly පන්දුව හඳුනා ගැනීම එතරම්ම අපහසු කාර්‍යක් නොවුනත් වනිඳු එම පන්දුව සාමාන්‍ය පා දඟ පන්දුවක් යවන ආකාරයෙන්ම ග්‍රහණය කරගනිමින් දඟ කැවීමට සමත්කම් දක්වන නිසාවෙන් එය කියවා ගැනීම පිතිකරුවන් හට අපහසු කර්ත්‍යවයක් විය හැක.

Cricbuzz වෙබ් පිටුව සමඟ පැවති සාකච්ඡාවක් සඳහා එක්වෙමින් බංග්ලාදේශ කණ්ඩායමේ විඩියෝ විශ්ලේෂක Shrinivas Chandrasekaran සඳහන් කර සිටියේ ඕනෑම මොහොතක දී තරගය වෙනස් කළ හැකි ක්‍රීඩකයෙකු නිසාවෙන් හසරංගගෙන් එල්ල විය හැකි අභියෝගය සඳහා බංග්ලාදේශ පිතිකරුවන් සූදානම් විය යුතු බවයි.

“හසරංග පන්දු යවන්න භාවිතා කරන උපක්‍රම ගොඩක් දුරට Rashid Khan සහ Adam Zampa පිතිකරුවන්ට එරෙහිව යොදා ගන්න උපායන්වලට සමානකමක් දක්වනවා. අපිට ඔහුගේ අත දිහා බලලා තේරුම් ගන්න අපහසුයි නම් ඔහු කරන්න උත්සාහ කරන දේ ගැන හොඳම දේ තමයි වනිඳු කියන්නේ Googly පන්දු යවන්නෙක් කියලා අනුමාන කරලා පන්දුවට පහර දෙන එක. විශේෂයෙන්ම මේ ගැන අවධානය යොමු කරන්න ඕනෑ දකුණත් පිතිකරුවන්. ඒ ක්‍රමයත් අසාර්ථක නම් ඊළඟ සැලසුම තමයි ඔහුට එරෙහිව ලොකු පහරවල්වලට ගිහින් අනවශ්‍ය අවදානමක් ගන්නේ නැතුව ලකුණු එක දෙක ලබාගන්න උත්සාහ කරන එක.”

IPL තරගාවලිය සඳහා එක්ව සිටි Shirinvas මහතා තවමත් බංග්ලාදේශ සංචිතය සමඟ එක්වීමේ අපේක්ෂාවෙන් පසුවන අතර වනිඳුගෙන් එල්ල විය හැකි තර්ජනය මැඩපැවැත්වීම සඳහා විශේෂ අභ්‍යාසයන් කිහිපයක්ම පිතිකරුවන් සමඟ එක්ව දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන්කොට තිබුණි.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර  තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මැයි මස 23, 25 සහ 28 යන දිනයන් හීදි ඩකා අගනුවර Sher-e-Bangla ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කෙරෙමින් පවතී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<