කොදෙව්වන්ගේ 6 වැනි කඩුල්ලේ Antigua මෙහෙයුම

Sri Lanka tour of West Indies 2026

2
Sri Lanka tour of West Indies 2026

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය නිමා වෙන්නේ ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොත් නැවත වතාවක් සංස්කරණ වෙමිනුයි.

එහි ප්‍රමුඛත ම වාර්තාව බවට පත් වෙන්නේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් Amir Jangoo සහ Roston Chase එක් ව එක් කරන ලද ලකුණු 401ක සබඳතාවයි. මෙය ලෝක ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයට එක් වෙන්නේ 6 වැනි කඩුල්ලට එක් වූ හොඳම ලකුණු සබඳතාව ලෙසයි.

ටෙස්ට් තරග ඉතිහාසයේ 6 වැනි කඩුල්ලට එක් වූ හොඳම ලකුණු සබඳතාවන් 5
  Runs Partners Team Opposition Ground Year
1 401 Amir Jangoo බ. ඉ. කොදෙව් ශ්‍රී ලංකාව Antigua 2026
Roston Chase
2 399 Jonny Bairstow එංගලන්තය දකුණු අප්‍රිකාව Cape Town 2016
Ben Stokes
3 365* BJ Watling නවසීලන්තය ශ්‍රී ලංකාව Wellington 2015
Kane Williamson
4 352 Brendon McCullum නවසීලන්තය ඉන්දියාව Wellington 2014
BJ Watling
5 351 මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව ඉන්දියාව Ahmedabad 2009
කුමාර් සංගක්කාර

මෙම සබඳතා ඉනිම ආරම්භ කරද්දී බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ කඩුලු 5ක් ලකුණු 168කට දැවී ගොස් තිබුණා. ඒ වෙද්දී අංක 4 පිතිකරු ලෙසින් පිටියට එක් වූ Amir Jangoo නොදැවී ලකුණු 37ක් ලබා ගෙන පිටියේ රැඳී සිටි අතර එම කඩුල්ල දැවී ගිය සැනින් 2 වැනි දිනයේ තේ විවේකයට තරගය නතර කරනවා.

ඉන් අනතුරු ව Roston Chase ඉනිමේ 7 වැනි පිතිකරු ලෙසින් පිටියට එක් වෙනවා. ඔවුන් දෙදෙනාගේ ලකුණු සබඳතාවේ පළමු ලකුණු 50 පන්දු 111කින් වාර්තා වෙන අතර 100 වැනි ලකුණු සබඳතාව පන්දු 201ක් වැය කරමින් ලබා ගන්නවා. තරගයේ 2 වැනි දිනය අවසාන වෙද්දී ඔවුන් දෙදෙනා එක් ව ලකුණු 103ක සබඳතාවක් එක් කර තිබූ අතර ඒ වෙද්දී Amir Jangoo ලකුණු 78ක් ද සහ Roston Chase ලකුණු 42ක් ද ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියා. දිනය අවසානයේ බටහිර ඉන්දීය කොදෙව් ඉනිම කියැවුණේ කඩුලු 5ක් දැවී ලකුණු 271ක් ලෙසයි.

තරගයේ 3 වැනි දිනයේ කාර්තු 2ක ක පාලනය Amir Jangoo සහ Roston Chase සතු වුණා. එහි දී ඔවුන් දිනයේ සිදු කළ පළමු සුවිශේෂී කාර්ය වූයේ Amir Jangoo විසින් ශතකය වාර්තා කිරීමයි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 226ක් වැය කර තිබූ අතර හතරේ පහර 10ක් ඊට එක් කර තිබුණා.

අනතුරු ව එම කඩුල්ලේ ලකුණු 150 සබඳතාව පන්දු 295ක් වැය කරමින් වාර්තා කළ අතර තරගය දිවා විවේකයට නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ලකුණු ලකුණු 350ක් දක්වා රැගෙන ගොස් තිබුණා.

දිවා විවේකයෙන් නොබෝ වේලාවකට පසු ව ඔවුන් දෙදෙනා විසින් පන්දු 367ක දී ලකුණු 200 කඩඉම් සබඳතාව එක් කළ අතර ඉන් අනතුරු ව Roston Chase ගේ ලකුණු 100ත් 6 වැනි කඩුල්ලේ ලකුණු 250 සබඳතාවත් එක ළඟ පන්දුවාර ද්විත්වයක දී වාර්තා කිරීමට සමත් වෙනවා.

තරගයේ තේ විවේකයට පෙර එම කඩුල්ලේ ලකුණු 300, ඔවුන් දෙදෙනා එක් ව වැය කළ 491ක් වැනි පන්දුවේ දී වාර්තා කළ අතර තේ විවේකයට තරගය නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ලකුණු 492ක් ව තිබූණා.

ඉන් අනතුරු ව Amir Jangoo තම ටෙස්ට් තරග දිවියේ මංගල ද්විත්ව ශතකය පන්දු 342ක් වැය කරමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් වාර්තා කළා.  දෙදෙනා එක් ව එක් කළ 350 වැනි ලකුණ පන්දු 554ක් වැය කරමින් ද සහ 401 වැනි ලකුණ පන්දු 602ක් ද වැය කරමින් ද ලබා ගන්නවා.

ඔවුන් දෙදෙනා ගේ එම වාර්තාගත ලකුණු සබඳතාව මිලාන් රත්නායකට එරෙහි ව හයේ පහරක් එල්ල කරමින් Amir Jangoo විසින් ලබා ගත් අතර ඊට පසු පන්දුවේ දී එම සබඳතාව නිමා වෙනවා.

ඒ වෙද්දී Amir Jangoo පන්දු 373කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 233ක් ලබා සිටි අතර අනෙක් පස නොදැවී සිටි Roston Chase පන්දු 306කට මුහුණ දෙමින් ලකුණු 175ක් ලබා සිටියා.

Amir Jangoo සහ Roston Chase එක් ව එක් කරන ලද මෙම ලකුණු සබඳතාව බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන සබඳතාවන් අතර 2 වැනි ස්ථානයට පත් දක්ෂතාව ද වුණා. මෙහි පළමු අසුනේ අරා සිටින්නේ 1958 වසරේ දී පාකිස්තානයට එරෙහි ව Garry Sobers සහ Conrad Hunte එක් ව 2 වැනි කඩුල්ලට ලබා ගත් ලකුණු 446යි.

ශ්‍රී ලංකාවට එරෙහි ව Amir Jangoo සහ Roston Chase විසින් මේ පසු කරන්නේ වසර 10ක් පැරණි වාර්තාවකුයි. ඊට පෙර මෙම වාර්තාව සතු ව තිබුණේ Jonny Bairstow සහ Ben Stokes එක් ව 2016 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහි ව ලබා සිටි ලකුණු 399ක ලකුණු සබඳතාවටයි.

ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ 6 වැනි කඩුල්ලට එක් කළ වැඩිම ලකුණු සබඳතාවන් 5 අතර අවස්ථා 3ක දී ශ්‍රී ලංකාව රැදී සිටීම විශේෂත්වයක්. ඔවුන්ගේ මෙම ඉනිමට අමතර ව 2015 දී නවසීලන්තයේ BJ Watling සහ Kane Williamson එක් ව නොදැවී එක් කරන ලද ලකුණු 365ක වාර්තාවේ ප්‍රතිවාදීන් වෙන්නේ ද ශ්‍රී ලංකාවයි.

ඊට අමතර ව මෙම ලැයිස්තුවේ 5 වැනි අසුන එදිරිවාදීන් සේ අසුන් ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. ඒ ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර 2009 වසරේ දී ඉන්දියාවට එරෙහි ව ලකුණු 351ක් ලබා ගනිමින් පෑ දක්ෂතාව වෙනුවෙනුයි.

මෙම වාර්තාවට අමතර ව මෙම තරගයේ දී වාර්තා වූ තවත් සුවිශේෂී කඩඉම්

233 : Amir Jangoo විසින් මේ රැස් කරන්නේ තම ටෙස්ට් තරග දිවියේ මංගල ද්විත්ව ශතකයයි. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ තම ටෙස්ට් තරග දිවියේ තරග 2ක ක, 3 වැනි ඉනිමේදීයි.

194 : Roston Chase ගේ මෙම ලකුණු සංඛ්‍යාව ඔහුගේ ටෙස්ට් තරග 58ක ඉනිම් 107ක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු ප්‍රමාණයයි. මීට පෙර ඔහු ඉනිමක වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වී තිබුණේ 2016 වසරේ දී ඉන්දියාවට එරෙහි ව Kingston හි දී නොදැවී ලබා ගන්නා ලද ලකුණු 137යි.

300 : මෙම තරගයේ දී දකුණතින් මඳ වේග පන්දු යවන Kemar Roach ශ්‍රී ලංකා 2 වැනි ඉනිමේ දී ලකුණු 51කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර ඒ සමඟින් ඔහු ටෙස්ට් කඩුලු 300 සමාජයට එක් වුණා.

5/124 : මිලාන් රත්නායක විසින් මෙම තරගයේ දී ලකුණු 124කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ 6ක් වන ටෙස්ට් තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීමයි. ඊට පෙර ඔහුගේ දක්ෂතාව වී තිබුණේ 2025 වසරේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ දී බංග්ලාදේශයට එරෙහි ව ලකුණු 39කට දවා ගත් කඩුලු 3යි.

52 : මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ට අතිරේක ලකුණු 52ක් ලබා දෙන ලද අතර එය ඔවුන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව ලබා දුන් ඉහළ ම අතිරේක ලකුණු ප්‍රමාණය ද වූවා.  එම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් ලබා දුන් ඉහළ ම අතිරේක ලකුණු අතර 5 වැනියට ලැයිස්තු ගත වූවා.

101/10 : මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම 2 වැනි ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව බටහිර  ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර මෙම ලකුණු සංඛ්‍යාව වූයේ 2005 වසරේ දී දැවී ගිය ලකුණු 150යි.

inns & 217 runs : බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ මෙම තරගයේ දී ලබා ගත් ජයග්‍රහණය දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ ඉහළ ම ජයග්‍රහණයයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<