කොදෙව් ඇකඩමි ක්‍රීඩකයෝ තරගාවලිය ජය ගනී

West Indies Academy tour of Sri Lanka 2026

8
West Indies Academy tour of Sri Lanka 2026

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග 3කින් යුත් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ අද (26) සමත් වෙනවා.

මෙම තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගත් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රීඩකයෝ 2 වැනි තරගයේ දී සත්කාරක ක්‍රීඩකයන් වෙතින් පරාජය වූව ද අද පැවැති මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟින් ඔවුන් මෙම ශූරතාවට හිමිකම් කියනවා.

කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී (26) නිමා වූ මෙම තරගයට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙන්නේ පෙර තරගයට එක් වූ කණ්ඩායමෙන් එක් වෙනස්කමක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගයට එක් වූ අසිත වන්නිනායක වෙනුවට මෙම තරගයේ දී රවින් ද සිල්වා එක් කර තිබුණා.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම මෙම තරගයට එක් වෙන්නේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගය හා එක් ව සිටි Mbeki Joseph සහ Raneico Smith වෙනුවට Amari Goodridge සහ Johann Layne එක් කර තිබුණා.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම

 

නිපුන් ධනංජය (නායක), සිනෙත් ජයවර්ධන, විශේන් හැළඹගේ, දිනුර කළුපහන, රනේෂ් සිල්වා (කඩුලු රකින්නා), චාමික හීනටිගල, රවීන් ද සිල්වා, කවිජ ගමගේ, ට්‍රෙවින් මැතිව්, අක්මාල් ෆස්ලි සහ  මිහිරංග සිල්වා,  

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම

 

Rivaldo Clarke (නායක), Damel Evelyn, Mavendra Dindyal, Shaqkere Parris (කඩුලු රකින්නා), Kevlon Anderson, Amari Goodridge, Johann Layne, Zishan Motara, Nathan Edward, Jediah Blades සහ Giovonte Depeiza.

කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට සතු කර ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 349ක් ලබා ගන්නවා.

ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉනිමේ තවත් පන්දු 44ක් ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 273ක් පමණයි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රනේෂ් ද සිල්වා. ඔහු පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 69ක් ලබා ගන්නවා. ඊට අමතර ව දිනුර කළුපහන පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 54ක් ලබා ගන්නවා.

ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 59ක දී ලකුණු 62ක සබඳතාවක් එක් කරනවා.

ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමේ දී විශේන් හැළඹගේ ද පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා ගත් අතර ඔහු දිනුර කළුපහන හා සමඟ 3 වැනි කඩුල්ලට පන්දු 63ක දී ලකුණු 71ක සබඳතාවක් එක් කරනවා.

ඔවුන්ට අමතර ව චාමික හීනටිගල ද පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගන්නවා. ඔහු සහ රනේෂ් සිල්වා ද 5 වැනි කඩුල්ලට පන්දු 51ක දී ලකුණු 51ක සබඳතාවක් එක් කරනවා.

පසු පෙළින් පිටියට එක් වූ ට්‍රෙවින් මැතිව් පන්දු 21ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්ත ද එය ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගැනීම තරම් ප්‍රමාණවත් වූයේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී Amari Goodridge ලකුණු 56කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Zishan Motara සහ Giovonte Depeiza කඩුලු ද්විතවය බැගින් දවා ගන්නවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Shaqkere Parris. ඔහු පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 11ක සමඟින් ලකුණු 177ක් ලබා ගන්නවා.

ඊට අමතර ව එම ඉනිම අවසන් වෙද්දී Kevlon Anderson පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 86ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 155ක දී ලකුණු 222ක සබඳතාවක් එක් කරනවා.

ඔවුන් දෙදෙනාට අමතර ව නායක Rivaldo A Clarke පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ද සහ Damel Evelyn පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී චාමික හීනටිගල, ට්‍රෙවීන් මැතිව්, මිහිරංග සිල්වා සහ අක්මාල් ෆස්ලි කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බටහිර ඉන්දීය කොදෙව්ඇකඩමි ක්‍රිකට්කණ්ඩායම – කඩුලු 4ක් දැවී 349 (50.0) Damel Evelyn 27, Shaqkere Parris 177, Rivaldo A Clarke 38, Kevlon Anderson නොදැවී 86
  • ශ්‍රී ලංකානැගී එන ක්‍රිකට්කණ්ඩායම – සියලුම දෙනා දැවී 273 (42.0) විශේන් හැළඹගේ 42, දිනුර කළුපහන 54, රනේෂ් සිල්වා 69, චාමික හීනටිගල 32, ට්‍රෙවීන් මැතිව් 29, Amari Goodridge 4/56, Zishan Motara 2/46, Giovonte Depeiza 2/52

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 76ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<