IPL හි මීළඟ නවාතැන එංගලන්තය වන ලකුණු

1191

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එංගලන්තයේ ලන්ඩන් වෙත ගෙන ඒමට තමන් බලාපොරොත්තු වන බව ලන්ඩන් හි නගරාධිපතිවරයා වන Sadiq Khan පවසා සිටියා.

සරේ ප්‍රාන්ත ක්‍රිකට් ආයතනය සහ ඉන්දියාව අතර ඒ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා මේ වන විට පවත්වන බව ද ESPNCricinfo වෙබ් අඩවිය සමඟින් එක්වූ සාකච්ඡාවක දී ඔහු පවසා තිබුණා. 

ඇමරිකානු පාපන්දු තරගාවලිය වන NFL තරගාවලිය සහ ඇමරිකානු බේස්බෝල් තරගාවලිය වන NLB තරගාවලිය මේ වන විටත් එංගලන්තය තුල පවත්වනු ලබනවා. එම තරගාවලි සඳහා අතිවිශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ද සහභාගී වනවා. සිය අදහස් දැක්වීම අතරතුර Sadiq Khan පවසා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව එංගලන්තය තුල වඩාත් ජනප්‍රිය ක්‍රීඩාවක් නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එරට පැවැත්වුවහොත් එයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවයි.

Sadiq Khan සිය ධූර කාලයේ අවසන් කාලයේ කටයුතු කරමින් සිටින අතර නැවත වරක් ලන්ඩන් නගරාධිපතිවරයා ලෙස පත්වීමට බලාපොරොත්තුවෙන් පසුවනවා. 

“සරේ ප්‍රාන්ත ක්‍රිකට් ආයතනය මේ වෙද්දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් වගේම ඉන්දීය ක්‍රිකට් ආයතනය සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් සංවිධායකයන් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා මේ ගැන. අපි දැනට සැලසුම් කරලා තියෙන්නේ මේ ක්‍රියාවලියේ මුල් පියවර විදිහට සුහද සහ ප්‍රදර්ශනාත්මක තරග කීපයක් පවත්වන්න. ඉන් අනතුරුව අපිට ඉදිරියට යන්න පුළුවන් වේවි. කොරෝනා වයිරසය නැත්නම් මේ වසරේ තරගාවලිය ගැන අපිට බලාපොරොත්තු තියා ගන්න හැකියාවක් තිබුණා. මේ තරගාවලිය ඇත්තෙන්ම කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වෙලා කරන්න ඕනේ. අපිට ඕනේ ලන්ඩන් වලට ආකර්ෂණයක් ගෙන එන්න. මම විස්වාස කරනවා ක්‍රීඩාව ඒකට හොඳ අඩිතාලමක් කියලා.” 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය තවමත් කිසිදු අදහසක් ප්‍රකාශ කර නැහැ. 2009 වසරේ දී ඉන්දීය මහ මැතිවරණය පැවැත්වීම නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කළා. පසුව 2014 වසරේ දී තරගාවලියේ මුල් තරග කීපය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුනා. ඉන් අනතුරුව වසර ගණනාවක් තරගාවලිය ඉන්දියාව තුල පැවති අතර පසුගිය වසරේ පැතිර ගිය කොරෝනා වයිරසය නිසා තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුනා. 

තවත් ක්‍රිකට් පුවත්:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Rajasthan Royals කණ්ඩායම 2009 වසරේ දී ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ප්‍රදර්ශනාත්මක තරගයක් සඳහා සහභාගී වූ අතර එම තරගය පැවැත්වුණේ Middlesex ප්‍රාන්තය සමඟින්. ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායමක් යුරෝපීය රටක දී තරගයකට සහභාගී වූ එකම අවස්ථාව වන්නේ එයයි.

“කොරෝනා වයිරසයෙන් පස්සේ වඩාත් හොඳ ලන්ඩන් නගරයක් නිර්මාණය කිරීමේ මගේ සැලැස්මේ එක් කොටසක් මේක. මම දන්නවා ලන්ඩන් ප්‍රේක්ෂකයන් ගොඩක් ආසාවෙන් ඉන්නවා ඉන්දීය ක්‍රීඩකයන් වන Virat Kohli, Rohit Sharma, Rishabh Pant වගේ අයගේ තරග නරඹන්න. ඒ වගේම ලෝකේ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩාංගණ වන ලෝඩ්ස් ක්‍රීඩාංගණය සහ කියා ඕවල් ක්‍රීඩාංගණය තියෙන්නේ ලන්ඩන් වල. ඉතින් ලන්ඩන් තමයි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පවත්වන්න හොඳම තැන. මට ඕනේ ලන්ඩන් නගරය ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ අගනගරය කරන්න.” 

සරේ ප්‍රාන්තය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එංගලන්තයට ගෙන ඒමට කලක සිට උත්සාහයක් ගෙන තිබුණා. කොරෝනා වයිරසයෙන් අනතුරුව ලෝක ක්‍රිකට් ක්‍රීඩාව පවුම් මිලියන 100ක පමණ පාඩුවක් විඳිමින් සිටීම මෙම තරගාවලිය සරේ ප්‍රාන්තයට ගෙන ඒමට ප්‍රධාන හේතුවක් බව සරේ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා එංගලන්ත Daily Mail පුවත්පතට පවසා තිබුණා.

“අපි ගොඩක් ආසාවෙන් ඉන්නවා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලන්ඩන් සහ සෙසු එංගලන්ත ප්‍රාන්තවලට ගෙන එන්න. අපේ රටේ ප්‍රේක්ෂකයන්ට ඒක ලොකු අවස්ථාවක් වේවි. NFL තරගාවලියත් අපි එංගලන්තය තුල පවත්වනවා. ඒ නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පවත්වන එක එතරම් අභියෝගයක් වෙන්නේ නැහැ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට පවුම් මිලියන ගණනක ආයෝජනයක් වේවි. කොරෝනා වයිරසයෙන් පස්සේ අපි මූල්‍යමය අභියෝගයක ඉන්නේ. ඉතින් අපි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වගේ වෙනස් දේවල් කරන්න ඕනේ” සරේ ක්‍රිකට් ප්‍රධානී Richard Thompson පවසා සිටියා.

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඊයේ (09) චෙන්නායි හිදී ආරම්භ වුනා. මෙවර තරගාවලිය මැයි මස 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලිය සඳහා ප්‍රේක්ෂකයන්ට සහභාගී වීමට අවසර හිමිවන්නේ නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<