නවසීලන්ත තරගාවලිය ලේසියට ගන්න බැහැ – දිමුත්

990

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග සංචාරය මේ මස 14 වැනිදා ආරම්භ වන අතර එම තරගාවලිය සඳහා ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ටෙස්ට් තරග දෙකක් හා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වේ. මේ තරගාවලිය DFCC කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෙස නම් කර තිබේ. 

පරණ මුහුණු කිහිපයක් ආයිත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර මේ මස 14 වැනිදා ආරම්භ…

1982 වසරේ සිට පැවත එන නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 34ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 15ක ජය නවසීලන්ත කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 8ක් ජයග්‍රහණය කර ඇත. තවද තවත් ටෙස්ට් තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. 

එසේම ශ්‍රී ලංකාව තුළ දී නවසීලන්තය හා ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 15ක දී එකිනෙකා මුණගැසී තිබෙන අතර ඉන් තරග 5ක ජය ශ්‍රී ලංකාව හිමිකර ගන්නා විට තරග 4ක ජය හිමිකර ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වී තිබේ.

>>Photos: Joint Media Conference – Launching of the Sri Lanka vs New Zealand Cricket Series<<

“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කියන්නේ ඉතාමත් හොඳ කණ්ඩායමක්, විශේෂයෙන් ඔවුන්ගේ රටට ඇවිල්ලා, ඔවුන් එක්ක ටෙස්ට් තරග ක්‍රීඩා කරන එක එතරම් පහසු වෙන එකක් නැහැ. මොකද ආසියාතික තණතීරු ගොඩක් දුරට දඟපන්දු යවන්නන්ට හිතකරයි. අපි දඟපන්දු යවන්නට එරෙහිව හොඳින් පන්දුවට පහර දෙන්න ඕන. අපිට හොඳ සමබර කණ්ඩායමක් ඉන්නවා කියලා මම හිතනවා.” යැයි එක්දින ලෝක ක්‍රිකට් අනුශූරතාව දිනා ගත් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පැවසීය.

සංචාරක නවසීලන්ත කණ්ඩායම මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන අතර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඔවුන් හයවැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල හයවැනි ස්ථානය සහ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්ථානය හිමිව ඇත. 

වේගපන්දු පුහුණුකරු නවසීලන්ත තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු වෙයි

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ටෙස්ට් තරග දෙකකින් හා විස්සයි විස්ස තරග…

“නවසීලන්ත කණ්ඩායම මම අපේ රටට සාධරයෙන් පිළිගන්නවා. නවසීලන්තය කියන්නේ ලෝක අනුශූරතාව දිනා ගත්තා කණ්ඩායම ඔවුන්ට හොඳ සටනක් දෙන්න අපේ කණ්ඩායමට හැකියාව තියෙනවා. මොකද අපේ කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලිය හා එක්දින තරගාවලිය ඉතාමත් හොඳින් අවසන් කළා. ඒක නිසා ප්‍රේක්ෂකයින්ට ඉතාමත් හොඳ ක්‍රිකට් තරගාවලියක් නරඹන්න අවස්ථාව ලැබෙයි කියලා මම හිතනවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අදහස් දක්වමින් පවසන ලදි. 

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටිය තුල මෙම කණ්ඩායම් දෙක මේ දක්වා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි 6කට මුහුණ දී තිබෙන අතර ඉන් තරගාවලි 3කම ජය තහවුරු කරගෙන ඇත්තේ නවසීලන්ත කණ්ඩායමයි. තවත් තරගාවලි දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වන විට එක් විස්සයි විස්ස තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. 

තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේ අද (7) කොළඹ ටාජ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි සිල්වා මහතා හා තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දක්වනු ලබන DFCC බැංකුවේ නිලධාරි මහත්ම මහත්මීන් කිහිපදෙනෙක් ද පැමිණ සිටියහ.

>>නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය HUB එක සඳහා පිවිසෙන්න<< 

ශ්‍රී ලංකා ටෙස්ට් මූලික සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, දිල්රුවන් පෙරේරා, අකිල දනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු 

නවසීලන්ත ටෙස්ට් සංචිතය – කේන් විලියම්සන් (නායක), ටොම් ලේතම්, ජීට් රාවෙල්, රොස් ටේලර්, හෙන්රි නිකලස්, බී.ජේ වොට්ලින්, ටොම් බ්ලන්ඩල්, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, මිචෙල් සැන්ටනර්, ටොඩ් ඇස්ටල්, ටිම් සවුති , විල් යන්ග්, නීල් වැග්නර්, අජාස් පටෙල්, ට්‍රෙන්ට් බෝල්ට්

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාලසටහන 

  • අගෝස්තු 08 – 10: තුන්දින පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 14 – 18: පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • අගෝස්තු 22 – 26: දෙවන ටෙස්ට් තරගය – කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 29: විස්සයි විස්ස පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 01: පළමු විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 03: දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • සැප්තැම්බර් 06 – තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා තරගාවලියේ සියලුම තරග සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<