මලල ක්‍රීඩකයින්ට තවත් අසුභ ආරංචියක්

129
Time Counting Performance

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ජාතික සංචිතයේ සහ සුපිරි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා මෙම මස 24 (සෙනසුරාදා) සහ 25 (ඉරිදා) පැවැත්වීමට නියමිතව තිබූ කාලගණන පුහුණු තරගාවලිය අවලංගු කිරීමට ජාතික මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

කොරෝනා වසංගතය නැවත වරක් මෙරට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම නිසාවෙන් මෙම මස 23 සිට 25 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ජාතික මලල ක්‍රීඩා සංචිත තේරීම් තරග අවලංගු කිරීමෙන් පසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉල්ලීම නිසාවෙන් මෙම තරගාවලිය පැවැත්වීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබුණි.

එනමුත් එම වසංගත තත්වය දිනෙන් දින වැඩි වීම නිසාවෙන් මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකටම ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට රජය කටයුතු කළ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර තිබුණේ මෙරට පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය නිසාවෙන් මෙම සතිඅන්තයේ දී පැවැත්වීමට තිබූ තරගාවලිය අවලංගු කිරීමට තීරණය කළ බවයි.

තවත් මලල ක්‍රීඩා පුවත්:

දැනට ජාතික සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ සුපිරි සංචිතය තුල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් මැන බැලීම සඳහා පමණක් මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූ අතර තරගාවලිය කොළඹ සුගතදාස එළිමහන් මලල ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට සූදානම් කර තිබුණි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසු මේ වසර තුළ තවමත් කිසිදු තරගාවලියකට සහභාගි වීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව හිමි නොවූ අතර දිනෙන් දින ඉහළ යන මෙම වසංගත තත්වය නිසාවෙන් දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජාතික මලල ක්‍රීඩා ශූරතාවය පැවැත්වීම ද අවිනිශ්චිතතාවකට පත්ව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<