NCC විශ්මයට පත් කරමින් වරාය අධිකාරිය නැවතත් තරගයට

461

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ තරග 6ක් ඊයේ (13) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක විය.

එහි දී කැපී පෙනෙන සිදුවීම බවට පත්වූයේ ප්‍රථම ඉනිම අසාර්ථක කරගත් වරාය අධිකාරිය නැවතත් දෙවැනි ඉනිමේ දී NCC කණ්ඩායමට එරෙහිව නැගී සිටි ආකාරයයි. මීට අමතරව සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ව ද ඊයේ දේශීය පිටියේ දී දැකිය හැකි විය.

ප්‍රවේගකාරී ශතකයක් සමඟින් සචිත් පතිරණ චෝදනා වලට පිළිතුරු දෙයි!

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට උදාවූ අවාසනාවන්ත තත්ත්වය හමුවේ ක්‍රීඩකයින් සහ බලධාරීන් රැසක් ප්‍රේක්ෂක විවේචනයන්ට බඳුන් විය….

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනය නිමා වන විට දෙපිළේම ක්‍රීඩකයින් අතර කරට කර සටනක් ඇතිවී තිබේ. ඒ ටැමිල් යූනියන් කණ්ඩායම ඊයේ රැස් කර ගත් ලකුණු 305ට පිළිතුරු ලෙස හලාවත මේරියන්ස් පිළ ද ලකුණු 296ක් රැස් කරගත් බැවිනි. ඒ වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දුගේ පිත්තෙන් ලකුණු 81ක් ගලා ආවේය. එහි දී දේශීය තරගවල දී ද තමන් සතු සුවිශාල අත්දැකීම් සම්භාරය බෙදා දෙමින් සිටින රංගන හේරත් සහ ජීවන් මෙන්ඩිස් කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් වූහ. මේ වන විට කඩුලු 3ක් දැවී ලකුණු 60ක් රැස් කරගෙන සිටින ටැමිල් යූනියන් පිළ ලකුණු 69ක ඉදිරියක් ලබාගෙන සිටියි.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 305 (පන්දුවාර 81.2): ධනංජය ද සිල්වා 72, යොහාන් මෙන්ඩිස් 61, රංගන හේරත් 45, ජීවන් මෙන්ඩිස් 42, අසිත ප්‍රනාන්දු  4/51, සචිත්‍ර සේරසිංහ 3/68, ශෙහාන් ජයසූරිය 2/76.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 296 (පන්දුවාර 67.1): ඕෂධ ප්‍රනාන්දු  81, සචිත්‍ර සේරසිංහ 65, ඉසුරු උදාන 44, රංගන හේරත් 3/62, ජීවන් මෙන්ඩිස් 3/80.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 60 (පන්දුවාර 20)


යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය අතර තරගය

තම ප්‍රථම ඉනිම ලකුණු 152කට සීමාවීම නිසා බලවත් අසීරුතාවයකට ලක්වුණු යුධ හමුදා ක්‍රීඩා සමාජයට ඊයේ දෙවැනි දිනය නිමා වන විටත් ඉන් සම්පූර්ණයෙන්ම ගැලවීමට හැකිවී නැත. ඒ බදුරලිය ක්‍රිකට් සමාජය ඊයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 248ක් දක්වා ඉදිරියට යෑමට සමත් වූ බැවිනි.

ඒ වෙනුවෙන් රමිඳු ද සිල්වා සහ සංජය චතුරංග අර්ධ ශතක වාර්තා කරමින් දායක වූහ. මේ වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන යුධ හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 4ක් දැවී ලකුණු 112ක් ලබා සිටින්නේ බදුරලිය කණ්ඩායමට වඩා ලකුණු 16ක් පමණක් ඉදිරියෙන් සිටිමිනි.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 152 (පන්දුවාර 51): අශාන් රන්දික 30, ජනිත් සිල්වා 27*, ඩිල්ශාන්  ද සොයිසා  24, නද්‍රාස් ප්‍රසාද් 5/41, දිලේශ් ගුණරත්න 4/36.

බදුරලිය ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 248 (පන්දුවාර 82): රමිඳු ද සිල්වා  65, පැතුම් නිස්සංක 49, සංජය චතුරංග 69, දිල්හාන් කුරේ 31, මල්ක මදුසංක 5/41, ජානක සම්පත් 3/49.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 112 (පන්දුවාර 24): දුශාන් විමුක්ති  30*, අලංකාර අසංක 3/54.


කොළඹ ක්‍රිකට් සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර තරගය

සචිත් පතිරණ ඊයේ දිනයේ වාර්තා කළ ප්‍රවේගකාරී ශතකයේ ආනුභාවයෙන් ලකුණු 445ක් දක්වා ගොඩ නැගුණු CCC ඉනිම හඹා යන බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම මේ වන විට කඩුලු 6ක් දැවී ලකුණු 270ක් ලබා සිටියි.

ඒ අනුව මෙම තරගය බොහෝ දුරට ජය පරාජයෙන් තොරව නිමා වීමේ ඉඩකඩක් පවතී. බ්ලූම්ෆීල්ඩ් ප්‍රථම ඉනිම වෙනුවෙන් නිසල් ෆ්‍රැන්සිස්කෝ සහ නිපුන් කරුණානායක අර්ධ ශතක වාර්තා කර ගත්හ. තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී ම ක්‍රියාත්මක වේ.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු  445 (පන්දුවාර 90.3): සචිත් පතිරණ 168, මාධව වර්ණපුර 85, මලිත් ද සිල්වා 5/116, රමේශ් මෙන්ඩිස්  2/84.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 270 (පන්දුවාර 80): නිසල් ෆ්‍රැන්සිස්කො 72, නිපුන් කරුණානායක 54, සචිත් පතිරණ  2/44.


කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කෝල්ට්ස් කණ්ඩායම තම මුල් ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 246 පසුපස හඹාගිය සැරසන්ස් පිතිකරුවන්ට ලබා ගැනීමට හැකි වූයේ සියල්ලන්ම දැවී ලකුණු 152ක් පමණි.

සැරසන්ස් ඉනිම මේ අයුරින් අඩපණ කිරීමට කවිශ්ක අන්ජුල ලකුණු 38කට කඩුලු 4ක් බිඳ දමමින් දැක්වූ දස්කම් අතිශයින්ම උපකාරී විය. මේ වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන කෝල්ට්ස් පිළ කඩුලු 5ක් අතැතිව ලකුණු 220ක් ඉදිරියෙන් සිටින්නේ අද දිනයේ ජයග්‍රහණයක් කරා යාමේ අපේක්ෂාවෙනි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 246 (පන්දුවාර 79.3): ප්‍රියමාල් පෙරේරා 92, අවිශ්ක ප්‍රනාන්දු 72, සදීර සමරවික්‍රම 31, රොශාන් ජයතිස්ස 5/51, චතුර රන්දුනු 3/78, සචිත්‍ර පෙරේරා 2/48.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 152 (පන්දුවාර 55): ප්‍රමෝද් මධුවන්ත 38, කවීශ්ක අංජුල 4/38, ප්‍රභාත් ජයසූරිය 3/42, මොහොමඩ් ශිරාස් 2/28.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 126 (පන්දුවාර 43): සදීර සමරවික්‍රම 35, සංගීත් කුරේ 34, රොශාන් ජයතිස්ස 3/29.


ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ NCC කණ්ඩායම අතර තරගය

ප්‍රථම ඉනිමේ තමන්ව අසරණ කර දැමූ NCC කණ්ඩායමට දෙවැනි ඉනිමේ පාඩමක් උගන්වන්නට ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඊයේ දිනයේ දී අවස්ථාව උදා විය. ඒ පළමු ඉනිමේ තමන්ට වඩා ලකුණු 99ක ඉදිරියක් ලබාගත් NCC පිළේ දෙවැනි ඉනිම ලකුණු 120කට සීමා කරමිනි.

ඒ වෙනුවෙන් වමතින් පිට දඟපන්දු යවන චානක කොමසාරු ලකුණු 49කට කඩුලු 7ක්ම බිඳ හෙලමින් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළේය. මේ වනවිට කිසිවෙකු නොසිතූ ජයක් අභියස සිටින වරාය අධිකාරිය කඩුලු 8ක් අතැතිව ජයග්‍රාහී ඉලක්කයට වඩා ලකුණු 91ක් පමණක් පිටුපසින් පසුවේ.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 220 (පන්දුවාර 55.1): මහේල උඩවත්ත 54, ළහිරු කුමාර 47, ඇන්ජලෝ පෙරේරා 42, මාලිංග අමරසිංහ 29, ලසිත් ඇඹුල්දෙණිය 24*, මධුක ලියනපතිරනගේ 5/52, චානක කොමසාරු 3/78.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය – සියල්ලන්ම දැවී ලකුණු 121 (පන්දුවාර 40.5): අකලංක ගනේගම 24*, ළහිරු කුමාර 2/28, ලසිත් ඇඹුල්දෙණිය 2/28.

NCC (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 120 (පන්දුවාර 30.5): සචින්ත පීරිස් 27*, චානක කොමසාරු 7/49, නලීන් ප්‍රියදර්ශන 3/48.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය (දෙවන ඉනිම) – කඩුලු 2 ක් දැවී ලකුණු  129 (පන්දුවාර 46): ගයාන් මනීශාන් 39*.


රාගම ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

මුවර්ස් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙන මෙම තරගයේ වැඩි වාසිය අත්පත් කරගෙන සිටින්නේ රාගම ක්‍රිකට් සමාජයයි. ඒ තමන් මුල් ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 380 හඹාගිය මුවර්ස් පිතිකරුවන්ව ලකුණු 241කට සීමා කරමිනි.

එහි දී වමත් පිට දඟපන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සු කඩුලු 6ක් බිඳ දමමින් දස්කම් දැක්වීය. එතකින් නොනැවතුනු රාගම ක්‍රිකට් සමාජය මේ වනවිට කඩුලු 8ක් අතැතිව මුවර්ස් පිළට වඩා ලකුණු 227ක් ඉදිරියෙන් සිටින්නේ අද දිනයේ පූර්ණ තරග ජයක් අපේක්ෂාවෙනි.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවි ලකුණු 380 (පන්දුවාර 83): ළහිරු  මිලන්ත 112, ජනිත් ලියනගේ 97, ඉශාන් ජයරත්න 63, රොශේන් සිල්වා 37, තරිඳු රත්නායක  3/93, කෝසල කුලසේකර 2/32, සජීව වීරකෝන්  2/95.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 241 (පන්දුවාර 60): චාමර සිල්වා 121, පබසර වඩුගේ 29, අමිල අපොන්සු 6/79, නිශාන් පීරිස් 2/41.

රාගම ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු  88 (පන්දුවාර 18.3)

මෙම තරග සියල්ලම අද (14) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<