වීදි සංචාරයේ ගිය ක්‍රීඩකයින් තිදෙනාට වැඩ වරදියි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2021

469

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එංගලන්ත තරග සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුලේ (bio-bubble) නීති උල්ලංඝනය කරමින් Durham හි මාර්ගයක අදාළ ක්‍රීඩකයින් තිදෙනා රැඳී සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පට දෙකක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වුනා.

කණ්ඩායම් කළමනාකරු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව වෙත ලබා දී තිබෙන වාර්තාව අනුව ඔවුන්ට මේ තාවකාලික තරග තහනම පනවා වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කර තිබෙනවා. එසේම මෙහි ඉදිරි විනය පරීක්ෂණ කටයුතු මුළුමනින්ම අවසන් වන තෙක් ඔවුන් තිදෙනා සඳහා ලබා දී තිබෙන මේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම වලංගු වෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

COVID-19 වසංගතය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් තරගාවලි තුළ දී ජෛව ආරක්ෂිත බුබුලක් තුළ රැඳී සිටීම අනිවාර්යය කරුණක් වන අතර එවැනි වාතාවරණයක් තිබිය දී මෙය උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැත. එසේ සිදු කිරීම තරගාවලියේ පැවැත්ම සඳහා දැඩි බලපෑමක් එල්ල කරනුයේ COVID-19 වයිරසය කණ්ඩායම් තුළට ඇතුළු වීමේ අවදානමක් තිබෙන නිසයි.

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ICC එක්දින සුපර් ලීගයේ එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 29 වැනිදා Chester-le-Street හිදී ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහි තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<