ලොකු කුසල්ලා අභිබවා පොඩි කුසල්ලාට තියුණු ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2021

300

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියට පෙර, ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම කුසල් පෙරේරාගේ කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම ලෙස දෙපිළ බෙදී පවත්වන ලද පුහුණු තරගයෙන් ලකුණු 2ක තියුණු ජය ලබා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම අද (21) සමත් වුනා.

ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක,

කුසල් පෙරේරාගේ කණ්ඩායම– කුසල් පෙරේරා (නායක), ධනුෂ්ක ගුණතිලක, වනිඳු හසරංග, දසුන් ශානක, අෂේන් බණ්ඩාර, ඉසුරු උදාන, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු.

කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම – කුසල් මෙන්ඩිස් (නායක), නිරෝෂන් දික්වැල්ල, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර.

පන්දුවාර 40කට සීමා වෙමින් පැවැත්වුණු මේ තරගයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 285ක ඉලක්කයක් හඹා ගිය කුසල් පෙරේරාගේ කණ්ඩායම පන්දුවාර 37කුත් පන්දු දෙකක දී සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 282ක් පමණයි.

තවත් ක්‍රිකට් පුවත්:

කුසල් පෙරේරාගේ කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග සහ අෂේන් බණ්ඩාර අර්ධ ශතක වාර්තා කළ ද, එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුනේ නැහැ. සංචිතය සතු ක්‍රීඩකයින් 18 දෙනාගෙන් එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් නවය බැගින් වන සේ බෙදා පවත්වන ලද මෙම තරගයේ දී දෙපිළේම පිතිකරුවන් 9 දෙනා බැගින් පන්දුවට පහර දුන්නා.

ඒ අතරින් අෂේන් බණ්ඩාර පන්දු 79ක දී ලකුණු 80ක් ලබා ගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් තම ඉනිමට ඇතුළත් කරගෙනයි. ඔහුට අමතරව අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දුන් වනිඳු හසරංග පන්දු 39ක දී වේගවත් ලකුණු 79ක් රැස් කළේ හයේ පහර 5ක් සහ හතරේ පහර 9කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමිනි.

නායක කුසල් පෙරේරාට රැස් කරගැනීමට හැකි වුනේ ලකුණු 28ක් පමණයි. පන්දු යවන්නන් අතරින් කැපී පෙනෙන දස්කම් දැක්වූ චාමික කරුණාරත්න ලකුණු 30කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

ඩකාහි ක්‍රීඩා අධ්‍යාපන ආයතන ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ දී නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් අර්ධ ශතක වාර්තා කරමින් කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වුනා.

මෙම තරගයේ වැඩිම ලකුණු ලාභියා වුණු දික්වැල්ල පන්දු 63ක දී නොදැවී ලකුණු 88ක් රැස් කර ගත් අතර එම ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් ඇතුළත්ව වුනා. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ උපනායක කුසල් මෙන්ඩිස් ලකුණු 71ක් ලබා ගත්තේ සිය ඉනිම හයේ පහර 3කින් සහ හතරේ පහර 7කින් වර්ණවත් කරගෙනයි. 

කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම – පන්දුවාර 40ක දී කඩුලු 5ක් දැවී ලකුණු 284යි – නිරෝෂන් දික්වැල්ල 88*, කුසල් මෙන්ඩිස් 73, චාමික කරුණාරත්න 35,  ධනංජය ද සිල්වා 25, ලක්ෂාන් සඳකැන් 27*, බිනුර ප්‍රනාන්දු 21*, ධනුෂ්ක ගුණතිලක 1/26, අසිත ප්‍රනාන්දු 1/27, ඉසුරු උදාන 1/40, වනිඳු හසරංග 1/43.

කුසල් පෙරේරාගේ කණ්ඩායම – පන්දුවාර 37.2ක දී සියලු දෙනා දැවී ලකුණු 282යි – අෂේන් බණ්ඩාර 80*, වනිඳු හසරංග 79, කුසල් ජනිත් 28, ධනුෂ්ක ගුණතිලක 17, චාමික කරුණාරත්න 3/40, බිනුර ප්‍රනාන්දු 1/43, දුෂ්මන්ත චමීර 1/45, රමේෂ් මෙන්ඩිස් 1/57, ලක්ෂාන් සඳකැන් 1/59.

කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායමට ලකුණු දෙකක තියුණු ජයක් 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත මේ තරගාවලිය මේ මස 23 වැනිදා ඩකා හිදී ආරම්භ වනවා. එහි සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<