Home Sinhala Mustangs කුසලාන ජයත් කොළඹ රාජකීය විද්‍යාලයට!

Mustangs කුසලාන ජයත් කොළඹ රාජකීය විද්‍යාලයට!

736
Royal camp celebrating with the Mustangs Trophy – 46th Mustangs Trophy

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවති 46 වැනි Mustangs කුසලාන එක්දින ක්‍රිකට් සංග්‍රාමයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට රාජකීය විද්‍යාලය සමත් වුනා.

ඒ පන්දු යවන්නන්ගේ සුපිරි දක්ෂතා මෙන්ම රෙහාන් පීරිස් සහ උවිඳු වීරසේකර අතරේ ගොඩනැගුණු විශිෂ්ට සබඳතාවයේ ආශිර්වාදයෙන්.

විද්‍යාල දෙක අතර පැවති තුන්දින මහා ක්‍රිකට් තරගය රාජකීයයන් විසින් ජය ගැනීමෙන් පසු එක්දින තරගය වෙනුවෙන් තවත් අලුත් තණතිල්ලක් නිර්මාණය කිරීමට SSC පිටියේ කාර්යමණ්ඩලය කටයුතු කර තිබුණා. ඒ අනුව කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් නායකයා මෙම නව තණතිල්ලේ මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව තම විද්‍යාලයට ලබා ගත්තා.

සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ඉනිම ඇරඹුවේ තිසේන් ඇහැලියගොඩ සමඟින් සේනාධි බුලන්කුලමයි. ඔවුන් දෙදෙනාට පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කිරීමට හැකි වුනේ ලකුණු 10ක් පමණයි. ආරම්භක දෝලනයක් අපේක්ෂාවෙන් රාජකීය විද්‍යාලය ස්ලිප් ක්‍රීඩකයින් තිදෙනෙක් යොදාගෙන තිබීම අපතේ නොගිය අතර අනුෂ් පොලොනෝවිට යැවූ පන්දුවක් එලවා පහර දීමට ගිය තිසේන් ලකුණු 5කට දැවී ගියා.

අංක 3 පිතිකරුවා බවට පත්වූ දිනෙත් ගුණවර්ධන රැස් කළේ ලකුණු 9ක් පමණයි. එහි දී පන්දුව මිඩ්-විකට් කලාපයට යොමු කරමින් ඉක්මන් ලකුණක් කරා දුව යාමට උත්සාහ කළ දිනෙත්ට, පන්දු යැවූ බුලාන් වීරතුංග ක්ෂණිකව පන්දුව ඩැහැගෙන කෙළින්ම කඩුල්ල වෙත යොමු කිරීම නිසා දැවී යන්නට සිදු වුනා.

සාන්ත තෝමස් නායක රොමේෂ් මෙන්ඩිස්ටත් වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටින්නට බුලාන් වීරතුංග ඉඩක් තැබුවේ නැහැ. එහි දී ශරීරයට ආසන්නයෙන් ඇදී ගිය පන්දුවකට පිට ඉන්න දෙසින් පහර දීමට උත්සාහ කළ රොමේෂ්ගේ පිත්තේ ගැටුණු පන්දුව ඔහුගේ කඩුල්ල වෙතම ඇදී ගියා. මේ අනුව තෝමසුවන්ට ලකුණු 26කට කඩුලු 3ක් බිඳ වැටී අසරණ වුනා.

මේ මොහොතේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක සබඳතාවයක් සේනාධි බුලන්කුලම සහ මහිත් පෙරේරා අතරේ ගොඩ නැගුණා. එම සබඳතාවය බිඳ දැමීම වෙනුවෙන් රමිරු පෙරේරා හතරේ සීමාව ආසන්නයේ සිට දිවගොස් සුපිරි උඩපන්දුවක් ලබා ගත්තා. රනුක මලවිආරච්චිට එම කඩුල්ල හිමිකර දෙමින් මහිත් පෙරේරා දැවී යන විට පන්දු 36ක දී ලකුණු 28ක් ලබාගෙන සිටියා.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38ක් සහ සත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සබඳතාවයක් ගොඩ නැගීමට හවුල් වූ සේනාධි බුලන්කුලමට අද වේගයෙන් ලකුණු රැස් කිරීමට අවකාශ උදා වුනේ නැහැ. ඔහු තමන් රැස්කළ ලකුණු 66 වෙනුවෙන් පන්දු 134ක් වැය කළා. එය විවේචනයට පාත්‍ර නොවිය යුත්තේ අද ඔහුගේ සහයට කිසිදු සාන්ත තෝමස් පිතිකරුවෙකු නොසිටි නිසයි.

මේ අනුව 49 වැනි පන්දුවාරයේ දී සාන්ත තෝමස් ඉනිම ලකුණු 165කට නිමාවට පත්වුනා. අද රාජකීය විද්‍යාලය වයිඩ් පන්දු 10ක් යොමු කළත්, සමස්තයක් ලෙස සියලුම පන්දු යවන්නන් තම ප්‍රතිවාදීන්ට සැබෑ ලෙසම අභියෝගයක් වුනා. එහි දී බුලාන් වීරතුංග, සන්දේශ් රාමනායක සහ දසිස් මංචනායක කඩුලු 2 බැගින් බිඳ හෙලුවා. මීට අමතරව අසීරු උඩපන්දු කිහිපයක්ම රැක ගනිමින් පන්දු රකින්නන්ද ඔවුන්ට ශක්තියක් වුනා.

සාන්ත තෝමස් විද්‍යාලය ලබා දුන් පහසු ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසියේ රෙහාන් පීරිස් සමඟින් ඔවින අඹන්පොල‍යි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 20ක් එකතු කළා. පස්වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ආකාශ් ප්‍රනාන්දු මෙම සබඳතාවයට තිත තබන්නේ අඹන්පොලව දුවද්දී දවා ගැනීමකට හසුකර ගනිමිනුයි.

ඉන්පසු පිටියට පිවිසි අනුෂ් පොලොනෝවිට තණතිල්ලේ දෝලනය සහ ඉපිලීම ගැන අදහසක් ගැනීමටවත් ඉඩක් නොතබාම සුපිරි පන්දුවක් යොමු කරමින් කඩුල්ල බිඳ හෙලීමට ආකාශ් ප්‍රනාන්දු සමත් වුනා. මේ අනුව රාජකීය ඉනිම දැක්වුනේ ලකුණු 20ට කඩුලු 2ක් ලෙසයි.

තෝමසුවන්ට නැවත තරගයට පිවිසීමේ දොරටුව විවර වේ යැයි බොහෝ දෙනා විශ්වාස කළ මේ මොහොතේ රෙහාන් පීරිස් සහ උවිඳු වීරසේකර ලකුණු 107ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගන්නේ සාන්ත තෝමස් කඳවුරේ අවසන් බලාපොරොත්තුවත් බොඳ කර දමමින්. එහි දී උවිඳු වීරසේකර වඩාත් ආක්‍රමණශීලී වෙමින් පන්දු 68ක දී ලකුණු 50ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින්.

අර්ධ ශතකය ලබා ගැනීමෙන් පසු තවදුරටත් වේගය වැඩි කිරීමට උත්සාහ කළ උවිඳු වැර යොදා එල්ල කළ පහර ලෝන්ග්-ඕන් කලාපයේ සිට නේතන් කල්දේරා පහසුවෙන්ම රැක ගත්තා. ඔහුගෙන් පසුව පිටියට පිවිසි නායක දසිස් මංචනායක, රෙහාන් පීරිස් සමඟ එක්වී රාජකීය විද්‍යාලය සුරැකිව ජය කණුව කරා රැගෙන ගියා.

ඔවුන් ඒ වෙනුවෙන් වැය කළේ පන්දුවාර 36.2ක් පමණයි. ඉනිම ආරම්භයේ සිට අවසන් වනතුරුම නොදැවී සිටි රෙහාන් පීරිස් පන්දු 106ක දී ලකුණු 68ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමඟින්. නොදැවී ලකුණු 21ක් ලබා ගත් දසිස් මංචනායක පන්දුව දක්ෂ ලෙස තර්ඩ්මෑන් කලාපයට යොමු කරමින් එක් ලකුණක් ලබා ගත්තේ රාජකීය විද්‍යාලයට මෙවර පාසල් මහා ක්‍රිකට් තරග වාරයේ සම්පූර්ණ ගෞරවය දිනා දුන් නායකයා බවට පත්වෙමින්.

Result


Royal College
166/3 (37)

S. Thomas’ College
165/10 (48.2)

Batsmen R B 4s 6s SR
Senadhi Bulankulama c Sanvidu Senartharachchi b Sandesh Ramanayaka 66 133 6 0 49.62
Thishen Ehaliyagoda c Ovina Ambanpola b Anush Polonnowita 5 7 1 0 71.43
Dineth Gunawardena run out (Bulan Weerathunga) 9 19 1 0 47.37
Romesh Mendis b Bulan Weerathunga 2 4 0 0 50.00
Mahith Perera c Ramiru Perera b Ranuka Malaviarachchi 28 37 2 0 75.68
Akash Fernando c Nethwin Dharmarathne b Ramiru Perera 12 23 1 0 52.17
Senesh Hettiarachchi c Sanvidu Senartharachchi b Sandesh Ramanayaka 8 12 1 0 66.67
Nathan Caldera c Anush Polonnowita b Bulan Weerathunga 12 26 0 0 46.15
Charuka Peiris c & b Dasis Manchanayake 6 14 0 0 42.86
Kavindu Dais b Dasis Manchanayake 4 8 0 0 50.00
Ashen Perera not out 0 7 0 0 0.00


Extras 13 (b 3 , lb 0 , nb 0, w 10, pen 0)
Total 165/10 (48.2 Overs, RR: 3.41)
Bowling O M R W Econ
Bulan Weerathunga 8 1 24 2 3.00
Anush Polonnowita 10 2 23 1 2.30
Sandesh Ramanayaka 8 0 34 2 4.25
Dasis Manchanayake 9.2 1 25 2 2.72
Ranuka Malaviarachchi 4 0 15 1 3.75
Ramiru Perera 9 0 41 1 4.56


Batsmen R B 4s 6s SR
Ovina Ambanpola run out (Akash Fernando) 6 19 1 0 31.58
Rehan Peris not out 69 107 7 1 64.49
Anush Polonnowita b Akash Fernando 0 1 0 0 0.00
Uvindu Weerasekara c Nathan Caldera b Ashen Perera 50 68 4 2 73.53
Dasis Manchanayake not out 26 28 2 0 92.86


Extras 15 (b 1 , lb 0 , nb 1, w 13, pen 0)
Total 166/3 (37 Overs, RR: 4.49)
Bowling O M R W Econ
Akash Fernando 5 0 27 1 5.40
Ashen Perera 10 0 30 1 3.00
Nathan Caldera 7 1 27 0 3.86
Kavindu Dais 2 0 12 0 6.00
Charuka Peiris 3 0 21 0 7.00
Dineth Gunawardena 9 0 34 0 3.78
Senadhi Bulankulama 1 0 14 0 14.00



තවත් පාසල් මහා ක්‍රිකට් තරග රැසක් ඔබට සජීවීව සමීප කිරීමට ThePapare.com යුහුසුළුව කටයුතු කරන අතර ඒ වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<