22 වැනි වයස අවුරුදු 20න් පහළ මලල ආසියානු මලල ක්‍රීඩා උළෙල අද Hong Kong හිදී ආරම්භ වුනා.
තරගාවලියේ පළමු දිනය තුළ දීම ශ්‍රී ලංකාව පදක්කම් අතරට පිවිසෙමින්, ආසියාවේ අවධානය තමන් දෙසට යොමු කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
තරගාවලියේ පළමු ශ්‍රී ලංකා නියෝජනය ලෙස කාන්තා මීටර් 400 ඉසව්වේ මූලික වටයට රොනාලී ඈන් පීරිස් සහභාගී වූ අතර, ඇය විසින් මෙම ඉසව්වේ දී තත්පර 56.77ක කාලයක් වාර්තා කිරීමට සමත් වුනත්, ඇයට හිමි වුනේ 06 වැනි ස්ථානයයි. ඒ අනුව ඇයට තරගයෙන් තවදුරටත් ඉදිරියට යාමට නොහැකි වුනා.
ඉන් අනතුරුව පිරිමි මීටර් 400 මූලික වටයේ ඉසව් ක්‍රියාත්මක වුනා. එහි දෙවැනි තරගයට සහභාගී වූ ඔමෙල් ෂශින්ත විසින් තත්පර 46.15ක කාලයක් වාර්තා කරමින් පළමු ස්ථානයට පැමිණීමට සමත් වූ අතර, ඔහු අද සවස් වරුවේ දී නැවතත් එම ඉසව්වේ අවසන් පූර්ව තරගයට ද සහභාගී වුනා. එහි දී ඔහු වාර්තා කළ කාලය ලෙස තත්පර 46.82ක් සටහන් වූ අතර, ඔහුට තරගයේ දෙවැනි ස්ථානය ද හිමි වුනා.
මේත් සමඟින් ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔමෙල් සමත් වුනා.
මේ අතර එම ඉසව්වේ ම තෙවැනි මූලික වටයට සහභාගී වූ සදෙව් රාජකරුණා විසින් තත්පර 46.10ක තරග නිමි කාලයක් ද සමඟ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනේ, අවසන් පූර්ව වරම් ලබමිනුයි.
ඔහු ද අද සවස සිය ඉසව්වේ අවසන් පූර්ව තරගයට සහභාගී වූ අතර, එහි දී ඔහු විසින් තත්පර 46.46ක තරග නිමි කාලයක් සමඟ තෙවැනි ස්ථානයට පැමිණීමට සමත් වුනා. මේත් සමඟම සදෙව් ද පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මේ අතර විදුශාන් රාජේන්ද්‍රන් විසින් අද දිනයේ පිරිමි මීටර් 3000 ඉසව්වේ අවසන් තරගයට සහභාගී වුනා. මෙහි දී ඔහු විසින් මිනිත්තු 8.42.13ක තරග නිමි කාලයක් සමඟ හය වැනියා ලෙසිනුයි තරගය අවසන් කළේ.
පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ මූලික වටයේ තරග ද අද ක්‍රියාත්මක වුනා. එහි දී ඉසව්වේ පළමු මූලික වටයට සහභාගී වූ ශවිඳු නිමාශ විසින් තත්පර 51.72ක තරග නිමි කාලයක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයට පැමිණීමට සමත් වූ අතර, එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස සටහන් වීම සුවිශේෂී කරුණක්.
මේ අතර එම ඉසව්වේ තෙවැනි මූලික වටයේ තරගයට සහභාගී වූ කල්පිත හන්සජ විසින් ද සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස තත්පර 52.86කින් තරගය නිම කිරීමට සමත් වූ නමුත් ඔහුට හිමි වුනේ තෙවැනි ස්ථානයයි.
ඒ අනුව මෙම ඉසව්වේ අවසන් තරගයට ශවිඳු පමණක් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
මේ අතර අද දිනයේ දී කාන්තා මීටර් 1500 අවසන් තරගය ද ක්‍රියාත්මක වුනා. එම තරගයේ දී ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා විසින් මිනිත්තු 4.31.41ක තරග නිමි කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා.
තරගාවලියේ දෙවැනි දිනය හෙට (29) ක්‍රියාත්මක වීමට නියමිතයි. හෙට දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රැසක් තරග බිමට පිවිසීමට නියමිත අතර, ඒ අතුරින් කාන්තා තුන් පිම්ම අවසන් තරගයට ඔශිනි කාවින්ද්‍යා සහභාගී වීමට නියමිතයි. එමෙන්ම හෙට දිනයේ අවසන් තරග ඉසව්ව ලෙස පිරිමි මීටර් 400 ඉසව්ව පැවැත්වීමට නියමිත අතර සදෙව් සහ ඔමෙල් දෙදෙනා ම එහි දී පදක්කම් බලාපොරොත්තුවෙන් පිටියට අවතීර්ණ වනු ඇති.
එම සියලු තරග ඉසව් පිළිබඳ සවිස්තරාත්මක තතු විත්ති ඔබ හමුවේ තැබීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>






















