2021 ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 කිරුළ කාට ද?

659

කොරෝනා වසංගතය නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල ලබන වසර දක්වා කල් දැමීමට සිදු වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ද බොහෝ කලක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදු විය.

පසුකාලීනව, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මලල ක්‍රීඩා තරග ආරම්භ කිරීමට කටයුතු කළ නමුත් බොහෝ කලක් ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටීමට සිදු වීම නිසාවෙන් ක්‍රීඩකයන් රැසකටම සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අපහසුවීම කැපී පෙනුනි.

එම නිසාවෙන් ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ දී පසුගිය වසරේ ශූරතා දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට එම කිරුළ රැක ගැනීමට හැකි වේ දැයි බොහෝ දෙනා අවධානය යොමු කර ඇති අතර එහි විශාල අවධානයක් තරගාවලියේ අවිනිශ්චිතම ඉසව්වක් වන කාන්තා මීටර් 100 ඉසව්ව වෙත යොමුව ඇත.

මෙම වසර තුළ දී ක්‍රීඩිකාවන් හට දස්කම් දැක්වීමට එතරම් විශාල ඉඩකඩක් නොලැබුණු නමුත් ලැබුණු සීමිත අවස්ථා කිහිපයේ දී ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ ක්‍රීඩිකාවන්ගෙන් ලබන වසරේ ඔලිම්පික් උළෙලේ මීටර් 100 රන් පදක්කම දිනා ගැනීමට පහත ක්‍රීඩිකාවන් හට විශාල අවස්ථාවක් ඇත.

Rebekka Haase – German 

ජර්මනිය නියෝජනය කරමින් යොවුන් වියේ සිටම කෙටිදුර ධාවනයේ දස්කම් දැක්වීමට සමත් වූ Rebekka Haase 2010 යොවුන් ඔලිම්පික් උළෙලට සහභාගි වීමේ වරම් ලබා ගත් අතර 2015 වසරේ දී කෙටි දුර ධාවනයේ යුරෝපා ශූරිය වීමට ද ඇය සමත් විය.

පසුව දැක්වූ දස්කම් නිසාවෙන් ජර්මනිය නියෝජනය කරමින් 2016 ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගැනීමට ඇය සමත් වූවත් එහි ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇය අසමත් වූ නමුත් 2017 ලෝක සහය දිවීමේ ශූරතාවයේ දී කාන්තා මීටර් 100 සහය කණ්ඩායම නියෝජනය කරමින් රන් පදක්කමක් දිනා ගැනීමට ඇය සමත් විය.

ඉන්පසුව තවත් ජාත්‍යන්තර මට්ටමෙහි තරගාවලි රැසකට Haase සහභාගි වූවත් කැපී පෙනෙන දස්කමක් දැක්වීමට ඇය සමත් වූයේ නැත.

නමුත් මෙම වසරේ ජූලි මාසයේ පැවති තරගාවලියක දී මීටර් 100 ඉසව්ව තත්පර 11.11ක කාලයකින් අවසන් කරමින් තම පෞද්ගලික හොඳම කාලය මෙන්ම වසරේ හයවැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට ඇය සමත් විය.

නැවතත් කෙමින් කෙමින් සිය ඉහළම රිද්මයට පැමිණෙමින් සිටින Rebekka Haase ලබන වසරේ දී පැවැත්වෙන ඔලිම්පික් උළෙල ජය ගැනීමට යම් ඉඩක් ඇති ක්‍රීඩිකාවකි.

Ajla Del Ponte- Swisterland 

ස්විස්ටර්ලන්තය නියෝජනය කරමින් කෙටිදුර ධාවනයේ දස්කම් දැක්වීමට සමත් වූ Ajla Del Ponte එම තරග කාණ්ඩයේ දස්කම් ඉතා වේගයෙන් වර්ධනය කරගනිමින් ජයග්‍රහණ රැසක් ලැබූ ක්‍රීඩිකාවකි.

එමෙන්ම ස්විස්ටර්ලන්ත කාන්තා මීටර් 100×4 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කළ ඇය එරට නියෝජනය කරමින් ඉතා ළාබාල වියේ දී ම 2016 ඔලිම්පික් උළෙල සහ 2017 ලෝක ශූරතාවය නියෝජනය කිරීමට සමත් විය.

මෙම වසරේ ජූලි මස පැවති මලල ක්‍රීඩා තරගාවලියක දී මීටර් 100 ඉසව්ව තත්පර 11.08ක කාලයකින් අවසන් කරමින් වසරේ පස්වැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට ඇය සමත් වූ අතර ඇයගේ දස්කම් අනුව ඇය හට ද ලබන වසරේ ඔලිම්පික් උළෙලේ මීටර් 100 රන් පදක්කම දිනා ගැනීමට අවස්ථාවක් ඇත.

Sha’Carri Richardson- USA 

ඇමරිකාව නියෝජනය කරමින් කෙටිදුර ධාවනයේ දස්කම් දක්වන 20 හැවිරිදි Sha’Carri Richardson මෙතෙක් ලොව පහළ වූ වේගවත්ම ක්‍රීඩිකාවන් 10 දෙනා අතරට ඇතුළත් වීමට සමත් වූ ඉතා දක්ෂ ක්‍රීඩිකාවකි.

මීටර් 100 ඉසව්ව තත්පර 10.75ක කාලයකින් අවසන් කරමින් එම දස්කම් දැක්වීමට ඇයට හැකි වූ අතර තවමත් ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණයක් ඇය ලබා නැති නමුත් ඇමරිකානු කෙටිදුර ක්‍රීඩිකාවන් අතරින් ඉහළම දස්කම් අතර සිටින ක්‍රීඩිකාව ඇයයි.

ඇමරිකානු දේශීය පිටියේ තරගාවලි සියල්ලෙහිම පාහේ යොවුන් වියේ සිටම ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ ඇය මෙම වසරේ අගෝස්තු මාසයේ දී මීටර් 100 ඉසව්ව තත්පර 10.95ක කාලයකින් අවසන් කරමින් වසරේ තෙවැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත් විය.

ඇයගේ එම සාර්ථක දස්කම් සමඟින් 1996න් පසු ඔලිම්පික් මීටර් 100 කිරුළ ඇමරිකාව වෙත ගෙන ඒමට හැකි ක්‍රීඩිකාවක් ලෙස ඇය හඳුන්වනු ලබන අතර Richardson ලබන වසරේ ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව ජය ගැනීමට හැකියාව ඇති ක්‍රීඩිකාවන් ලැයිස්තුවේ ඉහළින්ම සිටින ක්‍රීඩිකාවකි.

Elaine Thompson-Herah – Jamaican

වත්මන් මීටර් 100 සහ 200 ඔලිම්පික් ශූරිය වන ජැමෙයිකානු ක්‍රීඩිකා Elaine Thompson-Herah කෙටි දුර ධාවනයේ බිහි වූ සාර්ථකම ක්‍රීඩිකාවක් ලෙස ද හැදින්විය හැක.

2015 වසරේ පැවති ලෝක මලල ක්‍රීඩ ශූරතාව නියෝජනය කරමින් ජාත්‍යන්තර පිටියට පිවිසි Elaine Thompson-Herah එහි මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම සහ මීටර් 100×4 රන් පදක්කම දිනා ගනිමින් ජාත්‍යන්තර පිටියෙහි සිය නාමය රැඳවීමට සමත් විය.

පසුව 2016 වසරේ පැවති ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වූ ඇය එහි මීටර් 100 ඉසව්ව තත්පර 10.71ක කාලයකින් අවසන් කරමින් Shelly-Ann Fraser-Pryc ඇතුළු ප්‍රබල ක්‍රීඩිකාවන් පරදවමින් ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර මීටර් 200 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ද ඇය සමත් විය.

එම ජයෙන් පසුව තරමක කැපී පෙනෙන දස්කමක් දැක්වීමට ඇයට නොහැකි වූ අතර 2019 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී ද කාන්තා මීටර් 100 ඉසව්ව සිව්වැන්නා ලෙස අවසන් කිරීමට ඇය හට සිදු විය.

නමුත් මෙම වසරේ දී නැවතත් සුපුරුදු රිද්මයට ළඟා වීමට සමත් වූ ඇය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවති මීටර් 100 ඉසව්වක් තත්පර 10.85ක කාලයකින් අවසන් කරමින් වසරේ වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත් විය.

පසුගිය වසර කිහිපයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි වූ නමුත් මීටර් 100 ඉසව්වේ වර්තමාන ඔලිම්පික් ශූරිය වන Elaine Thompson ලබන වසරේ ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට වඩාත් ඉඩක් ඇති ක්‍රීඩිකාවකි. 

තවත් විශේෂාංග ලිපි:

Shelly-Ann Fraser-Pryc – Jamaican 

කාන්තා කෙටිදුර ධාවනයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩිකාවක් ලෙස සැලකෙන ජැමෙයිකානු ක්‍රීඩිකා Shelly-Ann Fraser-Pryc සිය වයසට අභියෝග කරමින් දිනෙන් දින සිය දස්කම් වර්ධනය කරගැනීමට සමත් වූ ඉතා ධෛර්යමත් ක්‍රීඩිකාවකි.

යොවුන් වියේ සිට දැක්වූ දස්කම් නිසාවෙන් 2008 ඔලිම්පික් උළෙල සඳහා තේරී පත් වූ ඇය එහි කාන්තා මීටර් 100 ඉසව්ව ජය ගනිමින් එම දස්කම පෑ මුල්ම ජැමෙයිකානු ක්‍රීඩිකාව වීමට සමත් වූ අතර ඇයගේ එම ජයග්‍රහණයත් සමඟින් ජැමෙයිකානු කාන්තා කෙටි දුර ධාවනයේ නව පිබිදීමක් ඇති විය.

එයින් වසරකට පසු 2009 වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී කාන්තා මීටර් 100 ඉසව්වේ ලෝක ශූරිය බවට පත් වීමට ද ඇය සමත් වූ අතර එම වසරේ දී ම මීටර් 100 ඉසව්ව තත්පර 10.75ක කාලයකින් අවසන් කරමින් ලොව පස්වැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට ද ඇය සමත් විය.

එම ජයග්‍රණයන්ගෙන් පසු 2010 වසරේ දී තහනම් උත්තේජක භාවිතා කිරීමට වැරදිකරු වීම නිසාවෙන් කෙටි කලක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු විය.

එම තහනමෙන් පසු නැවතත් ක්‍රීඩා පිටිය වෙත පැමිණි Shelly-Ann හට සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකි වූ අතර ඇය සහභාගි වූ තරගාවලි රැසක්ම ජයග්‍රහණ ලැබීමකින් තොරව අවසන් කිරීමට ඇය හට සිදු විය.

එනමුත් එම පරාජයන්ගෙන් පසු ඉතා ඉක්මනින්ම සිය රිද්මයට පැමිණීමට සමත් වූ Shelly-Ann 2012 වසරේ දී නැවතත් සුපුරුදු දස්කම් දක්වමින් ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමේ වරම් දිනා ගන්නා ලදි.

එලෙස සිය ඔලිම්පික් කිරුළ රැකගැනීම සඳහා ලන්ඩන් නුවර වෙත පැමිණි Shelly-Ann එම තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 10.75ක කාලයකින් අවසන් කරමින් සිය දෙවැනි ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර නොකඩවා එම ඉසව්ව ජය ගැනීමට සමත් වූ තෙවැනි ක්‍රීඩිකාව ලෙස ද ඇය ඉතිහාසගත විය.

එම ජයෙන් පසු 2013 ලෝක මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගි වූ ඇය එහි මීටර් 100, 200 සහ මීටර් 100×4 ඉසව් සියල්ලම ජය ගනිමින් එවැනි දස්කමක් දැක්වූ මුල්ම ක්‍රීඩිකාව ලෙස ද ඉතිහාස ගත විය.

එම ලෝක කිරුළ 2015 වසරේ දී පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී ද රැකගනිමින් Shelly-Ann 2016 ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ නමුත් එම තරගාවලියට ආසන්නයේ දී ඇය විවිධ ආබාධයන්ට ලක් විය.

එම ආබාධය නිසාවෙන් සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අසමත් වූ Shelly-Ann හට තරගය තෙවැන්නා ලෙස අවසන් කරමින් සිය ඔලිම්පික් උළෙල රැකගැනීමට නොහැකි වූ නමුත් නොකඩවා ඔලිම්පික් උළෙල ත්‍රිත්වයක දී පදක්කම් දිනා ගත් මුල්ම ක්‍රීඩිකාව ලෙස ද ඇය ඉතිහාස ගත විය.

එම පරාජයෙන් පසු මව් පදවිය ලැබීම සඳහා ක්‍රීඩා පිටියට සමුදීමට තීරණය කළ Shelly-Ann සිය කුළුඳුල් දරුවාගේ උපතින් පසු 2018 වසරේ දී නැවත වරක් ක්‍රීඩා පිටිය වෙත පැමිණීමට තීරණය කරන ලදි.

නැවත පැමිණීමෙන් පසු ඉතා ඉක්මනින්ම සිය රිද්මයට පැමිණීමට සමත් වූ Shelly-Ann වත්මන් ඔලිම්පික් ශූරිය වන Elaine Thompson හට ප්‍රබල අභියෝගයක් දීමට සමත් විය.

එහි ප්‍රතිඵලයක් ලෙස 2019 වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 10.71ක කාලයකින් අවසන් කරමින් ලෝක ශූරතාවක් ජයග්‍රහණය කළ ලොව පස්වැනි ක්‍රීඩිකාව ලෙස ඉතිහාස ගත විය.

එමෙන්ම මෙම වසරේ අගෝස්තු මාසයේ දී පැවති තරගාවලියක දී කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 10.86ක කාලයකින් අවසන් කළ ඇය වසරේ දෙවන වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත් විය.

දිනෙන් දින සිය දස්කම් ඉහළ නංවා ගනිමින් කෙටි දුර ධාවනයේ සිය රිද්මයට ළඟා වෙමින් සිටින Shelly-Ann ලබන වසරේ ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 ඉසව්ව ජය ගැනීමට ඉහළම හැකියාවක් ඇති ක්‍රීඩිකාවකි.

මෙම ක්‍රීඩිකාවන්ට අමතරව තවත් බොහෝ ක්‍රීඩිකාවන් මීටර් 100 ඉසව්වේ දස්කම් දැක්වීමට සමත් ව ඇති අතර ඉතා අවිනිශ්චිත අනාවැකි පල කළ නොහැකි ඉසව්වක් වන මෙම ඉසව්ව නොසිතූ ප්‍රතිඵලයක් ගෙන ඒමට ද විශාල අවස්ථාවක් ඇති ඉසව්වකි.

එනමුත් පෙර ප්‍රතිඵල හා දස්කම්වලට අනුව මෙම ක්‍රීඩිකාවන්ගෙන් අයෙකු ලබන වසරේ ඔලිම්පික් උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වීමට සමත් වේ යැයි ලොව පුරා සියල්ලන් බලාපොරොත්තුවෙන් පසුවනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<