පෙරළිකාර ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ ඉහළට

803

ඕස්ට්‍රේලියාව සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 39කින් ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ICC ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව තිබෙනවා.

ICC ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් මෙම ලෝක ටෙස්ට් ශූරතා චක්‍රය අවසානයේ දී ICC ලෝක ටෙස්ට් ශූරතාවය සඳහා වන අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව කඩුලු 10කින් පරාජය වුනත්, දෙවැනි තරගයේ දී පෙරළිකාර ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ සමඟම ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ප්‍රතිශතය 54.71%ක් දක්වා ඉහළ ගියා.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලි චක්‍රයේ දී මේ වන විට තරග 8ක් ක්‍රීඩා කර ඉන් තරග 4ක් ජයගෙන තිබෙනවා. ඔවුන් එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබෙන අතර තරග 3ක් පරාජය වී තිබෙනවා.

ශ්‍රී ලංකා තරගාවලියට පෙර ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියාව මේ පරාජයත් සමඟ දෙවැනි ස්ථානයට ඇද වැටුණා. ඒ අනුව දෙවැනි ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාව මේ වන විට පළමු ස්ථානයේ රැඳී සිටිනවා.

දකුණු අප්‍රිකාව තරග 7ක් ක්‍රීඩා කර ඉන් තරග 5ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඔවුන් තරග 2ක් පරාජය වී තිබෙන අතර ජයග්‍රාහී ප්‍රතිශතය දැක්වෙන්නේ ලකුණු 71.43ක් ලෙසයි.

දෙවැනි ස්ථානයට ඇද වැටුණු ඕස්ට්‍රේලියාව මෙවර චක්‍රයේ දී පරාජය වූ පළමු තරගය මේ තරගය වීම විශේෂත්වයක්. ඔවුන් මේ වන විට තරග 10ක් ක්‍රීඩා කර ඉන් තරග 6ක් ජයගෙන තිබෙනවා. එක් තරගයක් පරාජය වී තරග 3ක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ඔවුන් සමත්ව තිබෙන අතර ප්‍රසාද ලකුණු ප්‍රතිශතය දැක්වෙන්නේ 70%ක් ලෙසයි.

ශ්‍රී ලංකාව එළඹෙන සතියේ දී පාකිස්තානය සමඟින් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරගාවලියට ටෙස්ට් තරග දෙකක් ඇතුළත්. ඕස්ට්‍රේලියාව ටෙස්ට් ආකෘතියෙන් විරාමයක් ගැනීමට නියමිත අතර ඔවුන්ට මීළඟ ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කරන්නට තිබෙන්නේ නොවැම්බර් මාසයේ දීයි. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<