පැතුම් නිස්සංක Kandy Falcons කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

539
Pathum Nissanka

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය සඳහා Kandy Falcons නියෝජනය කරන්නට තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු, ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ක්‍රීඩකයින් වන වනිඳු හසරංග, චාමික කරුණාරත්න සමඟින් Kandy Falcons කණ්ඩායම ශක්තිමත් කරනු ඇත.

පැතුම් නිස්සංක සිය කණ්ඩායම සඳහා පිළිගනිමින් කණ්ඩායමේ හිමිකරු Parvez Khan ප්‍රකාශ කළේ, “පැතුම්ගේ එක්වීම අපේ කණ්ඩායමේ පිතිකරණය ශක්තිමත් කරනවා පමණක් නොව, ඔහු ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට ක්‍රීඩා කළ මෑතකාලීන අත්දැකීම් ද කණ්ඩායමට විශාල සම්පතක්. LPL තරගාවලියේ දී ඔහු Kandy Falcons වෙනුවෙන් දස්කම් දක්වනවා බලන්නට ප්‍රේක්ෂකයින් සතුටු වන බව මට විශ්වාසයි.”

ICC විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ හි ඉහළම ස්ථානයේ පසුවන ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේ පැතුම් නිස්සංකයි. ඔහු මේ වන විට 8 වැනි ස්ථානයේ පසුවනවා.

පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Usman Shinwari ආබාධයකට ලක්ව මෙවර LPL තරගාවලිය අහිමි වන නිසාවෙන් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Ahmed Daniyal ඔහු වෙනුවට Kandy Falcons කණ්ඩායම වෙත ආදේශ කර තිබෙනවා. Daniyal මේ වසරේ මුල දී පැවති Big Bash League හිදි Melbourne Stars නියෝජනය කළා.

ශ්‍රී ලංකාවේ සංවිධානය කරනු ලබන ජනප්‍රියතම ලීග් ක්‍රිකට් තරගාවලිය වන LPL හි තෙවැනි අදියර ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<