ශ්‍රී ලංකා අභියෝගයට Hampshire පිතිකරුවන්ගෙන් සාර්ථක පිළිතුරු

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

578
Sri Lanka Emerging tour of England 2022

සංචාරක ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ දෙවැනි සිව්දින තරගයේ දෙවැනි දිනය අද (14) රාත්‍රියේ දී (ශ්‍රී ලංකා වේලාවෙන්) Southampton හිදී අවසන් වුනා.

දිනය නිමා වන විට ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 281කට පිළිතුරු දෙමින් සිටි Hampshire කණ්ඩායම කඩුලු 5ක් බිඳ දැවී ලකුණු 252ක් ලබාගෙන සිටියා.

දිනය ආරම්භ වන විට Hampshire ලකුණු නොලබා කඩුල්ලක් බිඳ වැටී තිබුණා. ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් Tom Prest සමඟ එක්වුණු Fletcha Middleton ලකුණු 58ක සබඳතාවයක් ගොඩනංවමින් දිනය සඳහා සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

එහි දී සිය මංගල පළමු පෙළ ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන 20 හැවිරිදි Middleton පළමු තරගයේ දී ම සිය මංගල පළමු පෙළ අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණා. ඔහු මේ තරගයේ දී ලකුණු 65ක් ලබාගෙන දස්කම් අතරට පැමිණි අතර එම ඉනිමට 4 පහර 8ක් සහ 6 පහරක් ඇතුලත් වුනා.

දකුණතින් වේගපන්දු යවන උදිත් මදුශාන්ගේ පන්දුවක් හමුවේ ඉනිමේ දෙවන කඩුල්ල ලෙස දැවී ගිය Prest ලකුණු 35ක් ලබා ගත්තා.

Hampshire පළමු ඉනිම තුල ලකුණු නොලබාම දැවී ගිය දෙවැනි ක්‍රීඩකයා ලෙස නායක Felix Organගේ කඩුල්ල දවා ගැනීමට මදුශාන් සමත් වීමත් සමඟම පන්දුවාර 5ක් තුල කඩුලු 2ක් බිඳ දැමීමට ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින් සමත් වුනේ තරගයේ වැඩි වාසියක් සියතට ගනිමිනි.

කෙසේ නමුත් එම බලාපොරොත්තු මදකට පමා කළ 20 හැවිරිදි Toby Albert සමඟ එක්වූ Middleton යන මංගල පළමු පෙළ ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන දකුණත් පිතිකරුවන් දෙදෙනා  සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා.

දකුණතින් මද වේගපන්දු යවන ධනංජය ලක්ෂාන් Middletonගේ (ලකුණු 68) ඉනිමට නැවතීමේ තිත තමබමින් මේ තරගාවලිය තුල දවා ගත් තෙවැනි කඩුල්ල දවා ගැනීමට සමත් වුනා.

ඉන් නොනැවතුණු ධනංජය කඩුලු රකින පිතිකරු Aneurin Donaldගේ ඉනිම ද ලකුණු 16කට සීමා කරමින් Hampshire පළමු ඉනිමේ සිව්වැනි සහ පස්වැනි කඩුලු දෙකම ඔහුගේ නම ඉදිරියෙන් සටහන් කර ගැනීමට සමත් වුනා.

ලකුණු 154කට කඩුලු 5ක් බිඳ වැටී තිබූ Hampshire පළමු ඉනිම නැවත වරක් යම් ස්ථාවර මට්ටමකට රැගෙන ඒමට 32 හැවිරිදි Ross Whiteley සහ සිය මංගල පළමු පෙළ තරගය සඳහා ක්‍රීඩා කරන 20 හැවිරිදි Toby Albert සමත් වුනා. එහි දී ඔවුන් දෙදෙනා දිනය අවසන් අවසන් වන විට 6 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 98*ක සබඳතාවයක් ගොඩනංවීමට සමත් වුනා.

මේ සිව්දින තරගයේ දෙවැනි දිනය අවසන් වන විට Whiteley සහ Albert දෙදෙනාම අර්ධ ශතක වාර්තා කරගෙන පිළිවෙළින් ලකුණු 69*ක් සහ ලකුණු 55*ක් ලබාගෙන නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටියා.

තරගයේ දෙවැනි දිනය අවසන් වන විට Hampshire කණ්ඩායම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට වඩා තවත් ලකුණු 29ක් පසුපසින් සිටින අතර ධනංජය සහ උදිත් කඩුලු 2ක බැගින් දවා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා නැගී එන පළමු ඉනිම – 281 (86.1): සන්තුෂ් ගුණතිලක 53, නුවනිඳු ප්‍රනාන්දු 52, දුනිත් වෙල්ලාලගේ 44, දිලුම් සුධීර 33, ධනංජය ලක්ෂාන් 21, අශේන් ඩැනියල් 21, John Turner 5/31, Harry Petrie 3/48.

Hampshire පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 252/5 (91): Toby Albert 69*, Fletcha Middleton 64,Ross Whiteley 55*, Tom Prest 35, ධනංජය ලක්ෂාන් 2/43, උදිත් මදුශාන් 2/73, දිලුම් සුධීර 1/40.

තරගයේ තෙවැනි දිනය හෙට (15) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<