Silverwoodගෙන් පසු ටෙස්ට් කණ්ඩායමේ වගකීම McCullumට

1426

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ  නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නවසීලන්ත ක්‍රිකට් නායක Brendon McCullum පත් කළ බව එංගලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට ක්‍රීඩා කරන Kolkata Knight Riders කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරන ඔහු, ලීග් පිටියේ දී තමා දරන තනතුරුවලින් ඉදිරියේ දී ඉවත්ව සිය සම්පූර්ණ කාලය එංගලන්ත ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් යොදවනු ඇත.

පසුගිය පෙබරවාරි මාසයේ දී එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ධූරය අහිමි වූ Chris Silverwood වෙනුවටයි Brendon McCullum මෙලෙස එරට ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර තිබෙන්නේ.

Silverwood විසින් එරට සීමිත පන්දුවාර හා ටෙස්ට් යන කණ්ඩායම් සියල්ලෙහිම පුහුණුකරු ලෙස කටයුතු කළ නමුත්, ඉදිරියේ දී සීමිත පන්දුවාර කණ්ඩායම සඳහා වෙනමම පුහුණුකරුවෙකු ද, ටෙස්ට් කණ්ඩායම සදහා තවත් පුහුණුකරුවෙකු ද පත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනයේ කළමණාකරණ අධ්‍යක්ෂ Rob Key කටයුතු කරමින් සිටිනවා.

මේ නව පුහුණුකරුවන් පත් කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණ පසුගිය සඳුඳා හා අඟහරුවදා එරට ක්‍රිකට් ආයතනය විසින් සිදු කර තිබුණා. 40 හැවිරිදි McCullum ක්‍රීඩකයෙකු ලෙස 2019 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත් අතර මේ දක්වා ඔහු පළමු පෙළ ක්‍රිකට් පිටියේ දී පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර නැහැ.

කෙසේ වෙතත් නවසීලන්තය වෙනුවෙන් ඔහු ටෙස්ට් තරග 101ක් සදහා ක්‍රීඩා කර තිබෙන අතර 2015 වසරේ දී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දක්වා නවසීලන්ත කණ්ඩායම රැගෙන යාම වෙනුවෙන් ද ඔහු නායකත්වය දැරුවා.

එසේම එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස නවසීලන්තයේ උපත ලැබූ Ben Stokes පසුගිය දා තෝරා පත්කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<