බංග්ලාදේශ පුහුණු තරගය පන්දු 110කට සීමා වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

4787

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවති දෙදින පුහුණු තරගය අද (11) පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත වේලාසනින්ම අතහැර දැමීමට පිටියේ විනිසුරුවන් ක්‍රියා කළා.

ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තම පළමු ඉනිමට ක්‍රීඩා කර තිබුණේ පන්දුවාර 18.2කට (පන්දු 110ක්) පමණයි. ලකුණු පුවරුව දැක්වුනේ එක් කඩුල්ලක් දැවී ලකුණු 50ක් ලෙසයි.

බංග්ලාදේශයේ Savar හි Krira Shikkha Protisthan අංක 3 ක්‍රීඩාංගණයේ දී ඊයේ ආරම්භ වූ මෙම තරගයේ දී පළමු දිනය පන්දුවාර 8.3කට සීමා වුණා. පැවති වර්ෂාව හේතුවෙන් තරගය පළමු දිනයට නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එක් කඩුල්ලක් දැවී ලකුණු 14ක් රැස් කරගෙන සිටියා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරමින් පිටියට පිවිසිය ද එහි වාසිය ලබා ගැනීමට ඔහුට හැකි වූයේ නැත. ඉනිමේ 6 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී නායක දිමුත් කරුණාරත්න දැවී ගියේ දකුණතින් මඳ වේගපන්දු යැවූ Mukidul Islamගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක Anamul Haque වෙතට උඩ පන්දුවක් ලබාදෙමිනි.

ඒ වන විට දිමුත් කරුණාරත්න පන්දු 18කට මුහුණ දෙමින් රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 2ක් වූ අතර ශ්‍රී ලංකා ලකුණු පුවරුව මුළු ලකුණු 06ක් ලෙසින් දැක්වුණා.

එතැන් සිට ශ්‍රී ලංකා ඉනිම පවත්වාගෙන යෑම පැවරුනේ ආරම්භක පිතිකරු ඕෂඳ ප්‍රනාන්දු සහ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් වෙතයි. නමුත් ඔවුන්ට එක්ව එදිනට ක්‍රීඩා කිරීමට හැකි වූයේ තවත් පන්දු 15කට පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕෂඳ ප්‍රනාන්දු නොදැවී ලකුණු 7ක් ද කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 5ක් ද රැස් කරගෙන සිටියා.

තරගයේ තීරණාත්මක දෙවැනි දිනය ද එතරම් හිතකර ලෙසින් පැවතියේ නැත. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕෂඳ ප්‍රනාන්දු පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද කුසල් මෙන්ඩිස් පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 22ක් ද වාර්තා කරගැනීමට සමත් වුණා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 15 වැනිදා Chattogramහි දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව – පළමු ඉනිම පන්දු වාර 18.2ක දී කඩුල්ලක් දැවී 50: ඕෂද ප්‍රනාන්දු නොදැවී 26, කුසල් මෙන්ඩිස් නොදැවී 22, Mukidul Islam 1/06

තරගාවලියේ උණුසුම් තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<