රංගන හේරත් බංග්ලාදේශ – කොදෙව් තරගාවලියෙන් ඉවත් වෙයි

4089

බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු රංගන හේරත් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි නොවන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පසුගිය අද (12) Cricbuzz වෙත අදහස් දක්වමින් මේ බව තහවුරු කර තිබුණා. ඔහු එහි දී පවසා සිටියේ තම පවුලේ අය සමඟ සිටීම සඳහා නිවාඩු සඳහා ඉල්ලුම් කර ඇති බවයි.

බංග්ලාදේශ කණ්ඩායමේ අධ්‍යක්ෂ Khaled Mahmud ද මේ බව Cricbuzz වෙත තහවුරු කර තිබුණා.

“රංගන හේරත් ඔහුගේ පවුලේ අය සමඟ ඉන්න ඉල්ලීමක් කරලා තිබුණා. එබැවින් ඔහු බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි වන්නේ නැහැ”, Khaled Mahmud තහවුරු කර සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම සමඟ රැඳී සිටීමට හේරත් තීරණය කර තිබුණා. ඒ රට තුළ දේශපාලන අස්ථාවරත්වය තිබිය දීයි.

රංගන හේරත් සිම්බාබ්වේ සංචාරය අතරතුර බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස එක් වූ අතර පසුව ඔහුගේ කොන්ත්‍රාත්තුව මේ වසරේ අග ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා දීර්ඝ කර තිබුණා.

කෙසේ වෙතත් කොදෙව් සංචාරය සඳහා රංගන හේරත් වෙනුවට ආදේශ කරන පුහුණුකරු පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තවමත් තීරණය කර නැහැ. නමුත් කණ්ඩායමේ ප්‍රමුඛතම දඟපන්දු පුහුණුකරු වන Sohel Islam බංග්ලාදේශ කණ්ඩායමේ කැරිබියන් දූපත් සංචාරය සඳහා ආදේශක පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිත බව වාර්තා වනවා.

කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වනවා. බංග්ලාදේශ කණ්ඩායම සංචාරය සඳහා එළඹෙන ජුනි 6 වැනිදා ඩකා නුවරින් පිටත්ව යාමට නියමිතයි.

තරගාවලිය සඳහා නිකුත් කළ කාලසටහන අනුව තරගාවලියේ ආරම්භක ටෙස්ට් තරගය ජුනි 16 සිට 20 දක්වා ඇන්ටිගුවා හිදී පැවැත්වීමට නියමිත අතර දෙවැනි ටෙස්ට් තරගය ජුනි 24 සිට 28 දක්වා ශාන්ත ලුසියා හිදී පැවැත්වීමට නියමිත වනවා.

තරගාවලියේ මුල් විස්සයි විස්ස තරග දෙක පිළිවෙළින් ජූලි 2 සහ 3 යන දිනවල ඩොමිනිකා හිදී පැවැත්වීමට නියමිත අතර තෙවැනි තරගය ජූලි 7 වැනිදා ගයානා හිදී පැවැත්වෙනු ඇත. එක්දින තරග තුන ජූලි 10, 13 සහ 16 යන දිනවල ගයානා හිදී පැවැත්වීමට නියමිතයි.

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<