නවසීලන්තයට බැට දී පාකිස්තානය වැඩ අරඹයි

104
Pakistan vs New Zealand
@AFP

පාකිස්තානය සහ නවසිලන්තය අතර ආරම්භ වූ තරග 5කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී ලකුණු දෙකක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තානය ක්‍රීඩකයෝ සමත් වූහ.

අබුඩාබි ෂෙයික් සයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (31) නිමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 148ක් ලබා ගත් අතර නවසීලන්ත කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 146ක් පමණි.

ඉන්දීය ක්‍රීඩකයෝ කොදෙව්වන් අභිබවා නැවත ඉස්සර වෙයි

ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ..

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ ආරම්භක පිතිකරුවන්ට ඊයේ දවස එතරම්ම යහපත් වූයේ නැත. ඉනිමේ තෙවැනි පන්දු වාරයේ දී බාබර් අසාම් ලකුණු 7කට දැවී යද්දී සිවු වැනි පන්දු වාරයේ දී සාහිබ්සාද ෆර්හාර් ලකුණකට දැවී ගියේය. ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2කට ලකුණු 10ක් ලෙසයි.

අනතුරුව කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක සබඳතාවක් එක් කිරීමට අසිෆ් අලි සහ මොහොමඩ් හෆිස් සමත් වූහ. මොහොමඩ් හෆීස් පන්දු 36ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා ගෙන සිටිය දී උඩ පන්දුවක් දී දැවී යමින් එම කඩුල්ලේ සබඳතාව අවසන් කළේය.

ඊට මද වේලාවකට පසුව ලකුණු පුවරුව 93ක් වෙද්දී අසීෆ් අලි ද තම කඩුල්ල පූජා කරන්නේ ය. ඔහු පන්දු 21කට මුහුණ දී හතරේ පහර සහ හයේ පහර එක බැගින් එල්ල කරමින් ලකුණු 24ක් ලබා සිටියේ ය.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ සෆ්රාස් අහමඩ් සහ ෂොයිබ් මලික්ගේ සබඳතාවත් සමඟින් පාකිස්තාන ඉනිමේ ලකුණු 100 වාර්තා විය. ඒ සඳහා පන්දු 89ක් වැයව තිබුණි. ඔවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 28කින් නිමා විය. ඒ සෆ්රාෆ් අහමඩ්ගේ දැවී යෑමත් සමඟය. සෆ්රාස් පන්දු 26කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තේ ය. මලික් රැස්කළ ලකුණු සංඛ්‍යාව 8කි.

තරග පාවාදුන්නා යැයි නුවන් සොයිසාට චෝදනා

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ…

ඉනිම අවසන් වෙන විට ෆාහීම් අෂ්රෆ් සහ ඉමාඩ් වසීම් නොදැවී පිටියේ රැඳී සිටිය හ. ෆාහිම් අෂ්රෆ් පන්දු 8කට මුහුණ දී හයේ පහරක් සමඟ ලකුණු 10ක් ද, ඉමාඩ් වසීම් පන්දු 5ක දී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ද ඒ වන විට ලබා සිටිය හ.

පන්දු යැවීමේ දී ඇඩම් මිල්නේ ලකුණු 28කට කඩුලු 2ක් දවා ගන්නේ ය. ඊට අමතරව අජාස් පටෙල්, කොලින් ඩි ග්‍රෑන්ඩ්හූම් සහ ඉෂ් සෝධි කඩුල්ල බැගින් බෙදා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයන්ගේ ආරම්භය සාර්ථක වූව ද අවසානය අසාර්ථක වීම දක්නට ලැබූ සුවිශේෂී අඩුපාඩුව විය. ආරම්භක කඩුල්ල වෙනුවෙන් කොලින් මුන්රෝ සහ ග්ලේන් පිලිප්ස් ලකුණු 50ක සබඳතාවක් දක්වා කණ්ඩායම ගෙන ආවේ පන්දු 34ක් පමණක් උපයෝගී කර ගනිමිනි.

දැඩි ප්‍රහාරයකට ලක්වෙමින් සිටිය දී ග්ලේන් පිලිප්ස්ගේ කඩුල්ල දවා ගැනීමට හසන් අලි සමත් වූයේ ඉනිමේ අර්ධ ශතකය වාර්තා වීමෙන් පසුව යැවුණ දෙවැනි පන්දුවේ දී ය. ඒ වෙද්දී පිලිප්ස් පන්දු 15කට මුහුණ දෙමින් ලකුණු 12ක් ලබා සිටියේ ය.

මුන්රෝ සහ නායක කේන් විලියම්සන් එක්ව ගොඩ නැගූ සබඳතාව ලකුණු 29කි. එවර එම සබඳතාව අහිමි කළේ මුන්රෝ ය. මුන්රෝ ඊයේ තරගයේ දී වාර්තා වූ එකම අර්ධ ශතකයේ හිමිකාරයා විය. තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 8 වැනි අර්ධ ශතකය වාර්තා කළ මුන්රෝ දැවී යන විට පන්දු 42කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 58ක් ලබා සිටියේ ය.

මුන්රෝගේ දැවී යෑමෙන් පසුව යැවුණ 7 වැනි පන්දුවේ දී ඉමාඩ් වසිම්ගේ පන්දුවකට පෙරළා ඔහුගේ අතටම උඩ පන්දුවක් දී විලියම්සන් දැවී ගියේ පන්දු 16කට මුහුණ දී ලකුණු 11ක් ලබා සිටිය දී ය. අනතුරුව යැවුණ 6 වැනි පන්දුවේ දී නවසීලන්තයේ සිව්වැනි කඩුල්ල ද පිටියෙන් ඉවත් කිරීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එවර ගොදුර වූයේ කොලින් ඩී ග්‍රෑන්ඩ්හූම්මේ ය. දුවද්දී දැවී යෑමට ගොදුරු වීමෙන් ඔහු කඩුල්ල අහිමි කර ගනිද්දී ලකුණු 6ක් ලබා සිටියේ ය.

නාය යන ඉනිම ගොඩ නැගීමට පසුපෙළින් ශක්තියක් එක් කළේ රොස් ටේලර් ය. ඔහු නවසීලන්ත ඉනිම නිමා වන විට පන්දු 26කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටියේ ය. ටේලර් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක සබඳතාවක් ගොඩනගමින් ඉනිමේ දෙවැනි හොඳම ලකුණු සබඳතාව ගොඩ නැගීමට ද සමත් විය. ඔහුගේ සහායකයා වූයේ කොරි ඇන්ඩර්සන් ය. ඇන්ඩර්සන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 9කි.

මෙසේ ගිය නවසීලන්ත ඉනිමේ අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 17ක් අවශ්‍ය විය. පළමු 5 අවසන් වෙද්දී ලකුණු 10ක් ලබා ගැනීමට ඔවුන් සමත් වූ අතර අවසන් පන්දුව යැවීමට සිදු වූයේ ලකුණු 7ක අවශ්‍යතාවක් සමඟිනි. එම පන්දුවට ලබා ගත් හතරේ පහරත් සමඟින් නවසීලන්ත ඉනිම අවසන් විය.

“ශ්‍රේණිගත කිරීම් කිසිවක් තරග දිනන්න අදාළ වෙන්නේ නෑ” – චමරි අතපත්තු

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හයවැනි වරටත් සංවිධානය කරනු ලබන ලෝක…

පන්දු යැවීමේ දී හසන් අලි ලකුණු 35කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඊට අමතරව ඉමාඩ් වසීම් සහ ශාදත් ඛාන් කඩුල්ල බැගින් දවා ගත්හ.

කඩුල්ලක් ලබා නොගත්ත ද තමන් විසින් යැවුණ පන්දුවාර 3 ලකුණු 13කට සීමා කරමින් ප්‍රතිවාදි ලකුණු පුවරුව මෙල්ල කිරීම සහ ලකුණු නොමැතිව වැටී සිටි පාකිස්තාන ඉනිම ගොඩ නැගීමත් හේතු කර ගනිමින් මොහොමඩ් හෆීස් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි.

පාකිස්තානය; කඩුලු 5ක් දැවි 148 (20) අසීෆ් අලි 24, මොහොමඩ් හෆීස් 45, සෆ්රාස් අහමඩ් 34, ඇඩම් මිල්නේ 2/28

නවසීලන්තය; කඩුලු 6ක් දැවී 146 (20) කොලින් මුන්රෝ 58, රොස් ටේලර් නොදැවී 42, හසන් අලි 3/35

තරගාවලියේ දෙවැනි විස්සයි විස්ස තරගය මේ මස 02 වැනි ඩුබායි හිදී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<