සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම අතර පැවැති 2 වැනි සහ අවසන් සිව් දින නිල නොලත් ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 26ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත් වෙනවා.
දෙරට අතර පැවැති පළමු සිව්දින තරගයේ දී ලකුණු 75ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සතු වූ අතර ඒ අනුව සිව්දින තරගාවලිය 1-1ක් ලෙසින් සම ව නිමා වූවා.
Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගයේ දී කණඩායම් 2 ම වෙනස්කම් ද්විත්වයක් සිදු කර තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර තරගයට එක් වූ නිපුන් ධනංජය සහ සිතුම් දිසානායක වෙනුවට අංජල බණ්ඩාර සහ මෙලන් හංසක එක් කර තිබුණා.
බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමේ පෙර තරගයට ක්‍රීඩා කළ McKenny Clarke, සහ Justin Jagessar වෙනුවට Mavendra Dindyal සහ Zishan Motara එක් කර තිබුණා.
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම
ධනංජය ලක්ෂාන් (නායක), රවිඳු රසාන්ත, ශෙවෝන් ඩැනියෙල්, ජනිශ්ක පෙරේරා, අහන් වික්‍රමසිංහ, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), අංජල බණ්ඩාර, දිලුම් සුදීර, අශේන් ඩැනියෙල්, මෙලන් හංසක සහ දුලාජ් සමුදිත.
බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම
Teddy Bishop (නායක), Ackeem Auguste, Mbeki Joseph, Mavendra Dindyal, Carlon Bowen-Tuckett (කඩුලු රකින්නා), Rivaldo Clarke, Joshua Bishop, Nathan Edward, Zishan Motara, Raneico Smith සහ Kelvin Pitman.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ අදහස වූයේ පළමු වෙන් පන්දුවට පහර දීමයි. ඒ අනුව පිටියට පිවිසි තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 241ක් ලබා ගන්නවා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ 21 වැනි වියේ පසුවෙන වමත් පිතිකරු අංජල බණ්ඩාර. ඔහු පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා ගන්නවා. ඔහු 6 වැනි කඩුල්ල සඳහා සොහාන් ද ලිවේරා සමඟ එක් වෙමින් ලකුණු 68ක සබඳතාවක් ද ගොඩ නගනවා.
සොහාන් ද ලිවේරා පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නවා. ඊට අමතර ව අහන් වික්‍රමසිංහ ද පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී වමතින් දඟ පන්දු යැවූ Joshua Bishop ලකුණු 68කට කඩුලු 3ක් දවා ගත් අතර Zishan Motara, Nathan Edward සහ Raneico Smith කඩුලු ද්විත්වය බැගින් ලබා ගත්තා.
- නවක ක්රීඩකයින් රැසක් සමඟ ශ්‍රී ලංකාව බංගලි ටෙස්ට් ගැටුමට සැරසෙයි
- ශ්‍රී ලංකාව කොදෙව්වෝ ලකුණු 75කින් පරාජය කරයි
- Ride ශ්‍රී ලංකා ක්රිකට් සමඟ අත්වැල් බැඳ ගනී!
- ක්රිකට් නීති රැසක් වෙනස් කිරීමට ICC සූදානම් වෙයි!
- කොදෙව් යන නැගී එන තරු රෑන
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 374ක් ලබා ගන්නවා. එම වෙනුවෙන් අර්ධ ශතක ඉනිම් 4ක් එක් වූ අතර ඒ අතුරින් වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ Mavendra Dindyal. 20 හැවිරිදි වියේ පසුවෙන මේ දකුණත් පිතිකරුවා පන්දු 158කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 82ක් ලබා ගත්තා.
ඊට අමතර ව Rivaldo Clarke පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ද, Ackeem Auguste පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ද සහ නායක Teddy Bishop පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 79කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව අශේන් ඩැනියෙල් කඩුලු 3ක් ද, දුලාජ් සමුදිත කඩුලු 2ක් ද සහ මෙලන් හංසක කඩුල්ලක් ද දවා ගත්තා.
ලකුණු 133ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එවර ලබා ගත්තේ ලකුණු 107ක් පමණයි. පන්දු 151කට සීමා වූ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක ධනංජය ලක්ෂාන්. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.
ඊට අමතර ව අහන් වික්‍රමසිංහ ලකුණු 14ක් ද, ජනිශ්ක පෙරේරා ලකුණු 12ක් ද සහ ශෙවෝන් ඩැනියෙල් ලකුණු 11ක් ද ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු කරා යෑමට හැකි වෙන්නේ නැහැ.
කඩුලු දවා ගැනීමේ දී Kelvin Pitman සහ Raneico Smith කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව Zishan Motara සහ Nathan Edward කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 241 (6.1) රවිඳු රසාන්ත 24, අහන් වික්‍රමසිංහ 48, සොහාන් ද ලිවේරා 41, අංජල බණ්ඩාර නොදැවී 56, Raneico Smith 2/53, Nathan Edward 2/44, Joshua Bishop 3/68, Zishan Motara 2/32
බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 374 (99.3) Ackeem Auguste 50, Mavendra Dindyal 82, Teddy Bishop 50, Carlon Bowen-Tuckett 27, Rivaldo Clarke 57, Nathan Edward 37, දුලාජ් සමුදිත 2/70, අශේන් ඩැනියෙල් 3/74, දිලුම් සුදීර 4/79
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 107 (25.1) ධනංජය ලක්ෂාන් 50, Kelvin Pitman 3/22, Nathan Edward 2/36, Raneico Smith 3/29, Zishan Motara 2/04
බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 26ක ජයක්.
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ මේ මස 21 වැනි දා සිට ආරම්භ වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<