නුවනිඳු සහ ගුණතිලකගේ අර්ධ ශතක වලින් ශ්‍රී ලංකාව පෙරමුණේ

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

5633
Sri Lanka Emerging tour of England 2022

සංචාරක ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ දෙවන සිව්දින තරගයේ පළමු දිනය ඊයේ (13) රාත්‍රියේ දී (ශ්‍රී ලංකා වේලාවෙන්) Southampton හිදී අවසන් වුනා. දිනය නිමා වන විට ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 281කට පිළිතුරු දෙමින් සිටි Hampshire කණ්ඩායමේ එක් කඩුල්ලක් බිඳ වැටී තිබුනා.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහි මේ තරගය සඳහා Hampshire දෙවන පෙළ ක්‍රිකට් කණ්ඩායමක් ක්‍රීඩා කරවූ අතර එහිදී ඔවුන්ගේ ක්‍රීඩකයින් 6 දෙනෙක් මේ තරගයේ දී පළමු පෙළ වරම් දිනාගත්තා. එසේම ශ්‍රී ලංකාව මේ තරගයේ දී වෙනස්කම් තුනක් සිදු කරමින් යසිරු රොද්‍රිගෝ, නිපුන් මාලිංග සහ අශේන් බණ්ඩාර වෙනුවට දුනිත් වෙල්ලාලගේ, නිපුන් රන්සික සහ අශේන් ඩැනියල් කණ්ඩායමට කැඳවා තිබුනා.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – නිපුන් ධනංජය (නායක), ලසිත් කෘස්පුල්ලේ , නිශාන් මදුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, සන්තුෂ් ගුණතිලක, දුනිත් වෙල්ලාලගේ, නිපුන් රන්සික, දිලුම් සුධීර, අශේන් ඩැනියල්, උදිත් මදුශාන්.

Hampshire කණ්ඩායම – Felix Organ (C), Tom Prest, Toby Albert, Aneurin Donald, Ross Whiteley, Charlie Mumford, Dominic Kelly, Harry Petrie, Jack Campbell, John Turner, Fletcha Middleton

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නැගී එන නායක නිපුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. පසුගියදා Kent ප්‍රාන්ත කණ්ඩායම සමඟ ජය පරාජයෙන් තොරව අවසන් වුනු තරගයේ ක්‍රීඩා කළ තණතීරුව මෙන් මේ තණතීරුව පිතිකරුවන්ටම පමණක් වැඩි වාසි සගහත වුනේ නැහැ.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 32ක් තුල දවාලීමට Hampshire ආරම්භක මඳ වේගපන්දු යවන්නන් තිදෙනා සමත් වුනා. නායක නිපුන්, ආරම්භක පිතිකරු ලසිත් සහ පළමු සිව්දින තරගයේ දී ලකුණු 269ක් ලබාගත් නිශාන් දැවී ගොස් තිබුණු පසුබිමක, සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක සබඳතාවයක් ගොඩනැංවීමට නුවනිඳු සහ ධනංජය සමත් වුනා. 21 හැවිරිදි මඳ වේගපන්දු යවන Turner එම සබඳතාවය බිඳ දමමින් ලකුණු 21ක් ලබාසිටි ධනංජයගේ කඩුල්ල දවාගැනීමට සමත් වුනා.

ධනංජය දැවී ගොස් පන්දුවාර 7ක් ගතවීමටත් මත්තෙන් එතෙක් වේලාවක් Hampshire පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් පන්දුවට පහරදුන් 22 හැවිරිදි නුවනිඳු දැවී ගියා. නුවනිඳු 4 පහර 8ක් එල්ල කරමින් පන්දු 114ක් තුල ලකුණු 52ක් ලබාගත් අතර එය ඔහුගේ තෙවන පළමු පෙළ අර්ධ ශතකය වුනා. එසේම ඔහු පළමු සිව්දින තරගයේ දී ලකුණු 99ක් ලබාගැනීමට සමත් වුනා.

ගුණතිලක සමඟ පිටියේ එක්වූ ශ්‍රී ලංකා 19න් පහළ හිටපු නායක වෙල්ලාලගේ 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 106ක හොඳ සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා නැගී එන පළමු ඉනිමට නැවත වරක් යම් ස්ථාවරත්වයක් ලබාදුන්නා. එය ශ්‍රී ලංකා නැගී එන පළමු ඉනිම තුල වාර්තා වූ හොඳම සබඳතාවය වුනු අතර එය අවසන් කරමින් ලකුණු 53ක් ලබාගෙන සිටි ගුණතිලක දැවී ගියා. ශ්‍රී ලංකා නැගී එන පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු 22 හැවිරිදි ගුණතිලක පන්දු 93ක් තුල මේ ලකුණු 53 ලබාගත්තේ 4 පහර 7ක් එල කරමින් වන අතර එය ඔහුගේ 7 වන පළමු පෙළ අර්ධ ශතකය වුනු අතර මේ තරගාවලිය තුල නොකඩවා ලබාගත් දෙවන අර්ධ ශතකය වුනා.

ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ පසුපෙළ සහ මැදපෙළ එකට බැඳ තබාගත් ක්‍රීඩකයා වුනු වෙල්ලාලගේ 4  පහර 6ක් එල්ල කරමින් පන්දු 82ක් තුල ලකුණු 44ක් ලබාගෙන සිටියදී දැවී ගියා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන් වුනු දිලුම්, අශේන් සහ උදිත් අවසන් කඩුලු 3 වෙනුවෙන් ලකුණු 66ක් ශ්‍රී ලංකා නැගී එන ලකුණු සටහනට එක්කාසු කිරීම කැපී පෙනුනා.

පන්දු යැවීමේ දී Harry Petrie සහ 16 හැවිරිදි Dominic Kelly පිළිවෙලින් කඩුලු 3ක් සහ කඩුලු 2ක් දවාගන්නා විට Turner කඩුලු 5ක් දවාගෙන ශ්‍රී ලංකා නැගී එන පළමු ඉනිමේ පිතිකරුවන් බොහෝමයක් දෙනා පාලනය කළා.

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීම වෙනුවෙන් පිටියට පැමිණි Hampshire පළමු කඩුල්ල ලෙස කඩුලු 5ක දස්කමක් පෙන්වූ Turnerව ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට වමතින් දඟපන්දු යවන දිලුම් සමත් වුනා.

ලකුණු සාරාංශය,

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – 281 (86.1): සන්තුෂ් ගුණතිලක 53, නුවනිඳු ප්‍රනාන්දු 52, දුනිත් වෙල්ලාලගේ 44, දිලුම් සුධීර 33, ධනංජය ලක්ෂාන් 21, අශේන් ඩැනියල් 21, John Turner 5/31, Harry Petrie 3/48.

Hampshire කණ්ඩායම – 0/1 (0.4): දිලුම් සුධීර 1/00.

මේ තරගයේ දෙවන දිනය අද (14) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<