විනිවිදභාවයක් නැති නම් අත්සන් කරන්න බැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුව

429

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හට ජුනි 3 වැනිදාට පෙර ඔවුන්ගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තු සඳහා අත්සන් තබන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියත්, ඔවුන් ඒ සඳහා සූදානම් නොමැති බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 24 දෙනෙකුගේ නීති නියෝජිත ලෙස කටයුතු කරනු ලබන නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකයින් විසින් තම නියෝජිතයා ලෙස පත්කරන ලද නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමරත්න මහතා විසින් කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේශ් චන්දිමාල්, සුරංග ලක්මාල්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, නිරෝශන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න, දුශ්මන්ත චමීර, කසුන් රාජිත, ලක්ශාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ඕෂද ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ළහිරු කුමාර, දනුශ්ක ගුණතිලක, අශේන් බණ්ඩාර සහ අකිල ධනංජය යන ක්‍රීඩකයින් වෙනුවෙන් 2021 මැයි 21 වැනිදා නිකුත් කරන ලද නිවේදනය සමගාමීව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්

සම්පූර්ණ ප්‍රකාශය මෙසේයි,

“විනිවිදභාවයක් නොමැති වීම” ඇති වී තිබෙන මූලික ගැටලුව බව ක්‍රීඩකයින් නැවත නැවතත් පෙන්වා දෙයි.

මෙම අවස්ථාවේ දීත් ක්‍රීඩකයින් තම ස්ථාවරය නැවත නැවතත් පැහැදිලි කරමින්, ප්‍රතිපත්තිමය ලෙස ක්‍රීඩා කෞෂල්‍ය මත පදනම් කර ගත් ශ්‍රේණිගත කිරීම කිසිදු ආකාරයක ප්‍රශ්නයක් නොවන බව තහවුරු කර ප්‍රකාශ කරයි. 

එහෙත් කණගාටුදායක ලෙස, ක්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් සම්බන්ධ ගැටලුව ප්‍රධාන වශයෙන් ගෙවීම් හා දීමනා පිළිබඳ ප්‍රශ්නයක් බවට වැරදි ලෙස උපුටා දැක්වීමට උත්සහ කර තිබේ. පැන නැගී තිබෙන ගැටලුව ලෙස ක්‍රීඩකයින් පැහැදිලිව දක්වන්නේ “විනිවිදභාවය” පිළිබඳ ගැටලුවයි. 

මසකට අධික කාලයක් පුරා ක්‍රීඩකයින් විසින් විනිවිදභාවයකින් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටියමුත්, එම ඉල්ලීම ඉටු වී නැත. 

මේ වන විට ක්‍රීඩකයින් වර්ගීකරණය කර  ශ්‍රේණිගත කොට එය ප්‍රසිද්ධ කර ඇත. එහෙත් සියලු පාර්ශව වලට ප්‍රධාන ගැටලුව වන්නේ, තවමත් ක්‍රීඩකයින්ටවත් හෙළිදරව් නොකරන ලද, ක්‍රීඩකයාගේ ක්‍රීඩා කෞෂල්‍ය , ශරීර යෝග්‍යතාවය, වෘත්තීමය තත්වය සහ තවත් අංශ මත පදනම් වූ නව ක්‍රමයෙන් ලබා දෙන ලකුණු  ප්‍රදානය පිළිබඳවයි. 

ක්‍රීඩා කෞෂල්‍ය පදනම් කරගත් තක්සේරු කිරීමේ ක්‍රියාවලියට හඳුන්වා දී ඇති මෙම වර්ගීකරණ ප්‍රභේදයන්ට අනුව එක් එක් අංශ සඳහා ක්‍රීඩකයින්ට  වෙන වෙනම ලකුණු ලබා දිය යුතුය.

මෙවැනි තත්වයක් යටතේ,

ගෝලීය වශයෙන් ක්‍රිකට් පාලක සංගමයන් ගෙවීම් හා ඉපයීම් ඇතුළු සියලු කටයුතු සම්බන්ධයෙන් විනිවිදභාවයක් ඇතුව කටයුතු කරන අවස්ථාවක දී, මෙවැනි විනිවිදභාවයක් නොමැති ක්‍රීඩක තක්සේරු ක්‍රියාවලියක ඇති යෝග්‍යතාවය කුමක් ද? 

එමෙන්ම මෙවැනි විනිවිදභාවයක් නොමැති ක්‍රියාවලියකට ඕනෑම කෙනෙකුට අතපෙවිය හැකි තත්ත්වයක් තුළ, අනිසි පක්ෂග්‍රාහීත්වයක් හා පුද්ගලික තීරණ මත කටයුතු කිරීම්  ඇති විය හැක.

මෙම කාරණා මත පදනම් කොට ගෙන තම නව වාර්ෂික ගිවිසුම් අසාධාරණ, හේතු විරහිත හා අත්තනෝමතික බව පෙන්වා දෙන ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විනිවිදභාවයක් අවශ්‍ය බව කියා සිටී. 

ක්‍රීඩකයන් තක්සේරු කිරීමේ මෙම ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා පැවැත්වී මසක පමණ කාලයක් ගත වී තිබුනත්, මෙම තක්සේරු ක්‍රමය මගින් එක් එක් ක්‍රීඩකයින්ට ලබා දුන් ලකුණු පිළිබඳ මේ අවස්ථාවේ දී වත්  හෙළිදරව් කොට, එම ලකුණු පිළිබඳ එක් එක් ක්‍රීඩකයා දැනුවත් කොට, ලකුණු ලබා දීම් සාධාරණ හා පිළිගත හැකි නියමිත රාමුවක සිදු කරන බව සාමාන්‍ය  පුද්ගලයකුට වූවද පෙනෙන තත්වයක් ඇත්නම් ගිවිසුම් අත්සන් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රීඩකයින්ගේ විරෝධතාවක් නැත. 

එමෙන්ම ක්‍රීඩකයින් මුල් අවස්ථාවේ සිටම පැහැදිලිව පවසා සිටි අයුරින්  ඕනෑම අවස්ථාවක තම රට වෙනුවෙන්  ක්‍රීඩා කිරීමට සැදී පැහැදී සිටින බවත්, කිසිදු හේතුවක් මත එම යුතුකම පැහැර නොහරින බවත් තවදුරටත් කියා සිටී.

කෙසේවූවද, විනිවිද භාවයක් නොමැති ගිවිසුමක් අත්සන් කිරීමට ක්‍රීඩකයින් තරයේ ප්‍රතික්ෂේප කරයි!!!

(උපුටා ගැනීම අවසන්)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<