Rajasthan Royals පුහුණුකරුවෙක් කොරෝනාවෙන් පසු නැවතත් කණ්ඩායමට

151
Dishan Yagnik

මීට සති කිහිපයකට පෙර COVID-19 වයිරසයට ගොදුරු වී ඇති බවට තහවුරු වූ Rajasthan Royals කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන Dishant Yagnik මේ වන විට ඉන් සම්පූර්ණයෙන් සුවය ලැබීම සහ දින 14ක නිරෝධායන කාලයක් ගත කිරීමෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී කණ්ඩායම සමඟ එක්වීමට සූදානමෙන් සිටියි.

COVID-19 වසංගතයට අදාළව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් පනවා ඇති නියමාවලියට අනුව එම වයිරසයට ගොදුරු වී ඇති බවට හඳුනා ගැනීමෙන් අනතුරුව Yagnik හට සති 2ක කාලයක් පුරාවට නිරෝධායනය වීමට සිදු වූ අතර ඉන් අනතුරුව ඔහු ඉන් සුවය ලබා ඇති බවට තහවුරු කෙරෙන පරීක්‍ෂණ 2ක් ද සිදු කිරීමට සිදු විය. ඊට අමතරව නැවතත් කණ්ඩායම සමඟ එක්වීම සඳහා ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකින් ද සමත් වීම අනිවාර්ය විය.

ඒ අනුව ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණීමෙන් අනතුරුව එහි ගුවන් තොටුපළේ දී ද ඔහුව COVID-19 පරීක්ෂණයකට භාජනය කෙරෙන අතර අනතුරුව ඔහු සිය හෝටල් කාමරයේ ස්වයං නිරෝධායනය වන කාල සීමාව තුළ ඔහුට තවත් පරීක්‍ෂණ 3කට ලක්වීමට සිදු වේ. එහි දී එම පරීක්‍ෂණ සියල්ලෙන් ම ඔහු මෙම වයිරසයෙන් සුවය ලබා ඇති බව තහවුරු වුවහොත් පමණක් ඔහුට නැවතත් කණ්ඩායම සමඟ එක්වීමට අවසර හිමිවනු ඇත.

තවත් කියවන්න;

මේ අතරතුර Chennai Super Kings කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙක්ම COVID-19 වසංගතයට ගොදුරු වී ඇති බව පසුගිය දින කිහිපය තුළ අනාවරණය වන්නට වූ අතර ඒ අතරට එක් ඉන්දීය ක්‍රීඩකයෙකු සහ තවත් සහාය සහ පුහුණු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු ඇතුළත් වේ.

ඒ අනුව ඔවුන් පසුගිය සිකුරාදා සිය (28) පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව සිටියත් මෙම සිදුවීම හේතුවෙන් ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව දීර්ඝ කෙරෙන්නට විය.

මෙම 2020 වසර සඳහා වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 19 වන දින ආරම්භ වීමට නියමිතව ඇතත් තරගාවලියේ තරග කාලසටහන සංවිධායකයින් විසින් තවමත් නිකුත් කර නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<