චෝදනා ගැන ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

420
Sri Lanka Cricket explains the facts

පසුගිය දින කිහිපයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර තිබෙනවා. 

“2024 වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නොවැම්බර් 07 වැනි දින පාර්ලිමේන්තු සැසි වාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව සිදු කරන ලද ජනතාව නොමඟ යවන සුලු ඇතැම් තොරතුරු සම්බන්ධ කරුණු පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කර තිබේ.

අදාළ තරගාවලිය සම්බන්ධයෙන් පවතින සූදානම සම්බන්ධව ද නිවැරදි තොරතුරු මහජනතාව වෙත ලබා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙය අවස්ථාවක් කරගෙන තිබේ.

ඊට ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට 2024 වසරේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය වැනි සුවිශේෂී තරගාවලියක් ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව ගෞරවණීය ස්තූතිය පල කර ඇත.

එමෙන්ම මෙම තරගාවලිය 2024 වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට අදාල සියලු කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සූදානම් කර තිබෙන අතරම එය ඉතාමත් සාර්ථකව කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.

එබැවින් ගෝලිය වශයෙන් පිළිගත් මෙම තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින්ගේ සමීප අධීක්ෂණය යටතේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟින් සහයෝගිතාවෙන් යුක්තව කටයුතු කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලබයි.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රමිතීන්ට අනුකූලව තරග පැවැත්වෙන ස්ථාන සැපයීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇති ප්‍රධාන වගකීමයි. එබැවින් මෙම තරගාවලිය ඉතා සාර්ථක අයුරින් පැවැත්වීම සඳහා තරගාවලි පැවැත්වෙන ක්‍රීඩාංගණවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පූර්ණ අවධානය යොමු කර තිබේ.

ඒ අනුව අදාළ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල තත්වයන් වැඩි දියුණු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙනු ලබන අරමුදල් 2024 වසරේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ තරගාවලියේ පහසුකම් සංවර්ධනය වෙනුවෙන් වගකීමෙන් යුතුව යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

තවද රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි පහන් සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් යාවත්කාලීන කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය යොමුව තිබේ. එය දිගු කාලීන අවශ්‍යතාවක් වන අතර ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ මූලික අවශ්‍යතා සපුරාලීමේ අභිප්‍රායෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මූලික පියවර ගනු ලැබීය. 

එමෙන්ම එම ව්‍යාපෘතිය 2023 ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වෙන කාලය තුල සිදු කිරීමට කටයුතු කළ නමුත් එකල තිබූ ආනයන සීමා හේතුවෙන් එය නියමිත කාලය තුල අවසන් කිරීමට නොහැකි විය. 

ක්‍රීඩාංගණයට අවශ්‍ය විදුලි අලෝක ධාරා ව්‍යාපෘතිය සඳහා වන මහජන ටෙන්ඩරයක් (මිල ගණන් කැඳවීමක්) ක්‍රීඩා අමාත්‍යංශ නියෝජිතයෙකුගේ සහභාගීත්වය සහ පූර්ණ නිරීක්ෂණය යටතේ මාස කිහිපයකට පෙර සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලැබීය.  

ඒ අනුව මෙම ව්‍යාපෘතිය ප්‍රදානය කරනු ලැබුවේ පවතින ටෙන්ඩර් ක්‍රියා පටිපාටියට අනුකූලවයි. විදුලි පහන් ආදේශ කිරීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බිලියන 1.5ක වියදමක් සිදු කර ඇති බව කෙරෙන ප්‍රකාශය පදනම් විරහිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරයි. 

අදාළ ව්‍යාපෘතිය නුසුදුසු වන බව හඟවමින් සිදුකරනු ලබන ඕනෑම චෝදනාවක් පදනම් විරහිත වන බව ද පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එය මහජනතාව අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කීර්තිනාමය බිඳ දැමීම වෙනුවෙන් සිදු කරනු ලබන උත්සහයක් ලෙසින් සලකනු බවද සඳහන් කර සිටියි.  

මීට අමතරව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කෙටි කාල සීමාවක් වෙනුවෙන් පත් කරන ලද අතුරු කමිටු සාමාජිකයින් විසින් එතෙක් කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ලබන ගෙවීම් සම්බන්ධව වූ වවුචර මෙන්ම ලියකියවිලි ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බව ද මෙහි දී අවධාරණය කරනු ලැබේ.  

ඉහත කී සාමාජිකයින්ගේ හැසිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර සාධාරණ කාල රාමුවක් තුළ මෙම ද්‍රව්‍ය ආපසු ලබා නො දෙන්නේ නම් වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන බව අවධාරණය කිරීමට මෙය අවස්ථාවක් කරගනු ලබන බව සඳහන් කර සිටියි. 

අවසාන වශයෙන් විනිවිදභාවයෙන් යුතුව 2024 වසරේ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සාර්ථකව පැවැත්වීම සහතික කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇප කැපවී සිටිනු ඇත.”  

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක් ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<