පාසල් 325කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘පන්දු’ ලබා දෙයි

151

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරනු ලබන පාසල් සඳහා ‘ක්‍රිකට් පන්දු’ බෙදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත් දා පියවර ගනු ලැබීය.

පාසල් ක්‍රිකට් සංගමය සමඟ එක්ව සිදු කරන ලද මෙම පන්දු බෙදා දීමේ දී මෙවර තරගාවලිය සඳහා ලියාපදිංචිව සිටින පාසල් 325ක් වෙනුවෙන් මෙම පන්දු ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා සිටිති. මෙම පන්දු බෙදා දීමේ වැඩසටහන යටතේ සියලුම පාසල් සඳහා පන්දු 7680ක් බෙදා දීමට නියමිතව තිබේ.

මෙම පන්දු බෙදා දීමේ වැඩසටහන යටතේ මෙවර පාසල් තරග වාරය නියෝජනය කරනු ලබන පළමු පෙළ, දෙවැනි පෙළ සහ තෙවැනි පෙළ යන සියලුම අංශ නියෝජනය කරනු ලබන පාසල් සුදුසුකම් ලබා සිටියි. අදියර කීපයක් යටතේ පැවැත්වීමට නියමිත මෙම පන්දු බෙදා දීමේ වැඩසටහනේ එක් අදියරක් කොළඹ ලුම්බිණි විදුහල් පරිශ්‍ර‌යේ දී සිදුකෙරුණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න, අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂක රුවන් පතිරණ, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපති ඔෂාර පණ්ඩිතරන්න, පාසල් ක්‍රිකට් ලේකම් ජේ.ඒ.කේ.එස්. ඉන්ද්‍රජිත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුකරුවන්ගේ අධ්‍යාපන අංශයේ ප්‍රධානී හේෂාන් ද මෙල්, ලුම්බිණි විදුහලේ විදුහල්පති, සරත් ගුණතිලක, පාසල් ක්‍රිකට් තරගාවලි සංවිධාන කමිටු ලේකම් නිශාන්ත කුමාර සහ පාසල් කිකට් සම්බන්ධීකාරක ලෙසින් කටයුතු කරන මොරිස් ඩිලා ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙවර ක්‍රිකට් තරගාවලියේ එක්දින තරගාවලිය සැප්තැම්බර් 05 වැනිදා ආරම්භ වුනු අතර එය නොවැම්බර් මස 05 වැනිදා අවසන් වීමට නියමිතය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු දෙදින ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 20 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විධි විධාන යොදා තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<