ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට වැඩි ආරක්ෂාවක් ඉල්ලයි

706

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ ස්ථාන කීපයකට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධව ක්‍රිකට් බලධාරීහු වැඩි අවධානයක් යොමු කර තිබේ.

ආරක්ෂාව තර කිරීමේ එක් ප්‍රතිඵලයක් ලෙසින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් සිදු ඉකුත් සතියේ අඟහරුවාදා දින සිට පැවැත්වීමට නියමිතව තිබූ යුද හමුදා පුහුණු සැසිය මෙන්ම රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබුණු පස්දින පුහුණු සැසිය ද අවලංගු කර දැමීමට පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු පුහුණු කඳවුරු තහනම්!

ක්‍රිස්තියානි පල්ලි සහ තරු පහේ හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්තවාදී……..

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන මැයි 07 වැනි දින එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතව තිබුණ ද, ශ්‍රී ලංකාව තුළ මේ වන විට ගොඩ නැගී තිබෙන අස්ථාවර ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එම පුහුණු වීම් පසෙකලා නිවසේ වූ ආලින්දයේ ඇති රූපවාහිනිය ඉදිරිපිටට වී සිටීමට සිදුව තිබේ.

බුද්ධි අංශ තොරතුරුවලට අනුව ත්‍රස්තවාදීන්ගේ මූලික ඉලක්ක අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක් බව දැනුම් දී තිබීම මත ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතර පමණක් නොව ශ්‍රී ලංකා කණ්ඩායම එතෙර දී ද ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් විය හැකි බැවින්, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා දෙන ආරක්ෂාව සම්බන්ධව නැවත වරක් සලකා බලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ.

තරගාවලියට සහභාගි වන සෑම රටකටම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විශේෂිත ආරක්ෂක සැලසුමක් අනුගමනය කරනු ඇත. එහෙත් 253 දෙනෙකුට මරු කැඳවමින් සහ 500කට අධික පිරිසකට තුවා සිදු කරමින් ශ්‍රී ලංකාව ඇතුළත පුපුරුවා හරින ලද බෝම්බ හේතුවෙන් බියට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් ලෙසින් ඒ පිළිබඳව නැවත විමසීමක් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ. එකී විමසීමට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා දෙන ආරක්ෂාවට වඩා වැඩි ආරක්ෂාවක් ශ්‍රී ලංකා පිලට ලබා දීමට කටයුතු කරන ලෙස ද ක්‍රිකට් බලධාරීන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් නිලධාරීන්ට දන්වා තිබේ.

මේ පිළිබඳව ThePapare.com වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලී ද සිල්වා මහතා පැවසූවේ, ශ්‍රී ලංකාවට එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය සලකා බලමින් ශ්‍රී ලංකා පිලට ලබා දෙන ආරක්ෂාව වැඩි කර දෙන මෙන් ඉල්ලීමක් කළ බවයි.

“ඔවුන් (අයි. සී. සී.) ගාව සෑම කණ්ඩායමකට හොඳ ආරක්ෂක සැලසුමක් තියෙනවා. අපිටත් ඒ පිළිබඳව සැලසුමක් ලබා දීලා තියෙනවා. ඒත් පාස්කු ඉරිදා එල්ල වුණු ප්‍රහාරය නිසා අපේ කණ්ඩායමේ ආරක්ෂාව තව ටිකක් වැඩි කරලා දෙන්න කියලා අපේ ආරක්ෂක කළමනාකරු හරහා අයි. සී. සී. එකෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව අපිට වාර්තාවක් ඔවුන් ඉක්මනින්ම එවයි” යැයි ප්‍රධාන විධායක නිලධාරීවරයා කරුණු දක්වයි.

ත්‍රස්තයින් ප්‍රහාර එල්ල කළ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආදරයට ලක්වූ දේවස්ථානය

පසුගිය ඉරිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේ දී ශ්‍රී ලාංකිකයින් සිය ගණනකට….

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව භාරව කටයුතු කරනු ලබන්නේ එයාර් කොමදෝරු කනිෂ්ක කුලරත්න මහතාය. මේ පිළිබඳව ThePapare.com විසින් ඒ මහතාගෙන් කරුණු විමසූ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දී තිබෙන පිටු 90කින් සමන්විත ආරක්ෂිත සැලසුම තමා අධ්‍යයනය කළ බවත්, ඒ පිළිබඳව අධ්‍යයනය කරමින් ප්‍රධාන කරුණු 3ක් පිළිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න කළ බව ද සඳහන් කර සිටියේය.

Skype තාක්ෂණය උපයෝගී කරගනිමින් පවත්වා ඇති අදාළ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡාවේ දී මේ පිළිබඳව විමසූ බව පවසා සිටි කුලරත්න මහතා වැඩිදුරටත් මෙසේද පවසා සිටියේය.

“නවසීලන්තයේ මුස්ලිම් පල්ලියකට එල්ල වුණු ප්‍රහාරයට පළිගැනීමක් විදියට ලංකාවට ප්‍රහාර එල්ල කළ බව ත්‍රස්තවාදීන් ප්‍රකාශ කර සිටීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව ගැන අපිට අවදානමක් ගන්න බෑ. ඒක නිසා මුලින්ම විමසුවේ ඒ සම්බන්ධව. එතැන දී ඔවුන් කිව්වේ ආරක්ෂාව සම්බන්ධව ලන්ඩන් පොලිසියත් මේ වන විට දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි”.

“අපිට මතකයි 2017 වසරේ එංගලන්තයෙදි තිබුණු ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයක් නොවුනත් ත්‍රස්ත ප්‍රහාරයක තොරතුරු වාර්තා වුනා. ට්‍රක් රථයකින් මිනිස්සුන්ව යට කරන්න තැත් කිරීම වගේම පිහිවලින් ඇණ ඝාතනයට කිරීමට තැත් කිරීම වගේ දේවල් ඒ අවස්ථාවේ වාර්තා වුනත්, ඒ දේවල් ගැන අපිට සුළුවෙන් තකන්න බෑ. ඒකෙන් පස්සේ ඇහුවේ ඩයස් පෝරාවෙන් එල්ල විය හැකි ගැටලු ගැන. මොකද අපි හැමදාම ඔහෙ ගියොත් ශ්‍රී ලංකා පිලේ මානසිකත්වය වට්ටන විදිහේ වැඩ නිතරම දැකගන්න ලැබෙනවා. ඒ අහපු හැම දේකටම ඔවුන් කිව්වේ, සියලු වගකීම් ඔවුන් අරගන්නවා කියලා” යැයි කනිෂ්ක කුලරත්න මහතා අවධාරණය කර සිටියේය.

“මට කවදාවත් ඒ දසුන අමතක නොවේවි” – දසුන් ශානක

පසුගිය පාස්කු ඉරිදා දිනයේ ඇති වූ පිපිරුම් මාලාවට හසුවීමට ගිය…..

ගෙවී ගිය මාස 10ක පමණ කාලය ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව භාර කළමනාකරු ලෙසින් කටයුතු කරනු ලබන්නේ කනිෂ්ක කුලරත්න මහතාය. එහෙත් ලබන 07 වැනිදා එංගලන්තය බලා යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඒ මහතා ඇතුළත් නොවන අතර කණ්ඩායමේ වගකීම ප්‍රධාන කළමනාකරු ලෙස කටයුතු කරන අසන්ත ද මෙල් සහ සේවා සපයන කළමනාකරු ලෙසින් චන්දිම මාපටුන යන මහතුවරුන් විසින් දරනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<