සුසන්තිකා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක් වෙයි

325

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් උපදේශනය සහ සංවර්ධනය කිරීම සඳහා උපදේශකවරියක් (Consultant—Mentoring and Development of Women’s Cricket) ලෙස එක් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියේ බිහි වූ ශ්‍රේෂ්ඨතම කෙටිදුර ධාවන ශූරියක් වන සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කමක් දිනා ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව මෙන්ම කෙටිදුර ධාවන ඉසව්වක ඔලිම්පික් පදක්කමක් දිනූ එකම ආසියානු ක්‍රීඩිකාව ද වෙනවා.

විශාල කැපවීම් තුළින් ලොව ඉහළ ජයග්‍රහණ ලබා ගත් ඇයගේ නිර්භීතකම සහ අධිෂ්ඨානය පිළිබඳ කතාව තුළින් අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දිරි ගැන්වීමට හැකි වෙනු ඇතයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

“මේ නව අභියෝගය පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා. එය මගින් මට තරුණ ක්‍රීඩිකාවන්ට අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට සහ ඔවුන්ට අනාගතයේ වීමට අවශ්‍ය තරු බවට පත්වීමට අවශ්‍ය උපකාරය ලබා දීමට මට අවස්ථාවක් හිමි වෙනවා,” යැයි සුසන්තිකා ජයසිංහ ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇයව සාදරයෙන් පිළිගන්නා බව සහ ඇය අනාගතයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉතා වටිනා වත්කමක් වෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වුනා.

ඇයගේ එම පත්වීම පෙබරවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන බව ද එම නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක් ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<