Gillගේ දැවී යාම ඉන්දියාවේ ප්‍රධාන ගැට‍ලුවක් බවට පත්වෙයි

WTC Final 2023

2154
Gill's controversial dismissal made headlines

ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ සිව්වැනි දිනයේ ප්‍රධානතම මාතෘකාව බවට පත් වීමට Shubman Gill සහ Cameron Green විසින් සමත් වුනා.

ඊයේ (10) දිනයේ දී කඩුලු 8කට ලකුණු 270ක් ලබා සිටිය දී සිය දෙවැනි ඉනිමට තිත තැබූ ඕස්ට්‍රේලියාව විසින් ඉන්දියාව වෙත තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 444ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නා.

ඒ අනුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සඳහා ඉන්දීය පිතිකරුවන් පිටියට පිවිසි අතර ඔවුන්ගේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 41කට සීමා වුනේ මෙම තරගයේ තවත් මතභේදකාරී සිදුවීමකට මුලපුරමිනුයි.

ඉන්දීය දෙවැනි ඉනිමේ 8 වැනි පන්දුවාරයේ දී Scott Boland විසින් යැවූ පන්දුවක් ලකුණු 18ක් ලබා සිටි Shubman Gillගේ පිත්තේ වැදී Cameron Green වෙත ඇදී ගිය අතර, එහි දී Green විසින් එය උඩපන්දුවක් ලෙස රැක ගැනීමට සමත් වුනා.

නමුත් එය Green විසින් නිවැරදිව ම රැක ගත්තා ද යන ගැට‍ලුව Shubmanට මෙන් ම පිටියේ විනිසුරුවන්ට ද සැකයට කාරණාවක් වූ අතර එම නිසා උඩපන්දුව පිළිබඳ තීරණයක් ලබා දීම තරගයේ තෙවැනි විනිසුරු Richard Kettleborough වෙත යොමු වුනා.

එය පියවි ඇසින් නිරීක්ෂණය කර තීරණයක් ලබා දීමට තරමක් අපහසු අවස්ථාවක් වූ නමුත් Kettleborough විසින් අවසානයේ Shubman දැවී ගිය ක්‍රීඩකයකු ලෙස සංඥා කිරීමට පියවර ගත්තා.

නමුත් මෙම තීරණය Gillගේ පිතිකරණ සගයා වූ නායක Rohit Sharma විසින් පිළිගැනීමට කැමැත්තක් නොදැක්වූ බව ඔහු පිටියේ විනිසුරුවරුන් සමඟ සිදු කළ සංවාදවලින් පෙනී ගියා.

එමෙන්ම අද උදෑසන වන විට ඉන්දීය මාධ්‍ය පවා සිය ක්‍රීඩා තොරතුරු වලින් වැඩි ප්‍රමාණයක් මෙම දැවී යාම පිළිබඳ සාකච්ඡා කිරීමට වෙන් කර තිබෙනවා. විශේෂයෙන් ම ඉතා තීරණාත්මක තරගයක දී මෙවැනි මතභේදකාරී තීන්දුවක් ලැබීම ඉන්දීය බලාපොරොත්තු සුන් කිරීමට විශාල හේතුවක් විය හැකි.

මේ අතර මෙම සිදුවීමෙන් අගතියට පත් වූ Shubman Gill විසින් ද Twitter ඔස්සේ තමන්ට ලැබුණු තීරණය පිළිබඳ සිය වික්ෂිප්ත බව දනවන අන්දමේ සටහනක් තබා තිබෙනවා.

එමෙන්ම ක්‍රිකට් හා සම්බන්ධ බොහෝ ප්‍රසිද්ධ චරිත පවා මෙම තීරණය පිළිබඳ සිය පුදුමය පළ කර තිබෙනවා.

“Shubman Gillගේ තීරණය ගන්නා අතරතුර තෙවැනි විනිසුරු. සැක සහිත සාක්ෂි සහ සැකයක් පවතින විට එය දැවී යාමක් නොවේ.” – Virender Sehwag

“තෙවැනි විනිසුරුගෙන් පුදුම හිතෙන තීරණයක්. ඒක පැහැදිලි උඩපන්දුවක් නෙවෙයි.” -Kamran Akmal

එමෙන්ම ඉන්දීය ක්‍රිකට් රසිකයින් බොහෝ දෙනෙකු ද කිසිසේත් ම මෙම විනිසුරු තීරණය පිළිගැනීමට සූදානම් නොමැති බව සමාජ මාධ්‍ය පිරික්සද්දී දැක ගත හැකි කාරණයක්.

කෙසේ වෙතත් විනිසුරු තීරණය අවසන් තීරණය වන බැවින් නැවත Shubman Gillහට පිටියට පිවිසීමේ අවස්ථාවක් හිමි නොවන බව නම් පැහැදිලියි.

එමෙන්ම ඊයේ දිනය නිමා වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට සමත් වූ අතර, තරගයේ අවසන් දිනය වන අද (11) දිනයේ ඔවුන්ට තරගය ජයග්‍රහණය කිරීම සඳහා තවත් ලකුණු 280ක් ලබා ගත යුතු ව තිබෙනවා.

තරගයේ තීරණාත්මක අවසන් දිනයේ ලැබෙන ප්‍රතිඵලය පිළිබඳ ව ද ඔබ වෙත තොරතුරු ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<