ඩන්කන් වයිට්ගෙන් ආරම්භ වී නිමාලිගෙන් අවසන් වන ඔලිම්පික් ගිය අපේ ඇත්තෝ

2362

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව 1937 වසරේ දී පිහිටවනු ලැබූ අතර එම වසරේ දී ම එය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පිළිගන්නා ලදි. නමුත් ශ්‍රී ලංකාවට පළමු වරට ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීමට ලැබෙන්නේ 1948 වසරේ දී. 

එතැන් සිට 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඔලිම්පික් උළෙල 18ක් නියෝජන කරනවා. 1976 දී පමණක් ඔලිම්පික් නියෝජනය සඳහා මෙරටින් කිසිදු ක්‍රීඩකයෙක් සමත් වෙන්නේ නැහැ.  

ලෝකයක් දෑස් දල්වා බලා සිටින මේ ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලාංකිකයන්ගේ ලැයිස්තුවයි මේ. 

1948 ගිම්හාන ඔලිම්පික් උළෙල – ලන්ඩන්

සහභාගීත්වය

ක්‍රීඩාව සහභාගීත්වය වයස ඉසව්
මලල ක්‍රීඩා  ජෝන් ද සේරම් 19 මීටර් 200 සහ මීටර් 400
ජී. ඩී. පීරිස් 28 දුර පැනිම සහ තුන් පිම්ම
ඩන්කන් වයිට් 30 මීටර් 400 කඩුලු පැනිම
බොක්සිං Eddie Gray 29 62 Kg අඩු Lightweight
ලෙස්ලි හඳුන්ගේ 27 51 Kg අඩු Flyweight
ඇලෙක්ස් ඔබේසේකර 30 67 Kg අඩු Welterweight
ඇල්බර්ට් පෙරේරා 54 Kg අඩු Bantamweight

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු ඔලිම්පික් උළෙල මෙයයි. එකල අපේ රට සිලෝන් ලෙසින් හැඳින්වූ බැවින් ඔලිම්පික් කේතය ලෙසින් භාවිතා වූයේ CEY ලෙසයි. 

සිලෝන් නාමය පළමු වරට ඔලිම්පික් ඉතිහාසයේ ලියැවෙද්දී පළමු පදක්කම ද එහි දී වාර්තා කිරීමට අපට හැකි වෙනවා. ඒ මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්වට සහභාගී වූ ඩන්කන් වයිට් දිනා ගත් රිදී පදක්කමත් සමඟයි. 1952 ගිම්හාන ඔලිම්පික් උළෙල – Helsinki

සහභාගීත්වය

ක්‍රීඩාව සහභාගීත්වය වයස ඉසව්
මලල ක්‍රීඩා නාගලිංගම් එදිරිවීරසිංහම් 17 උස පැනීම
බොක්සිං ලෙස්ලි හඳුන්ගේ 31 51 Kg අඩු Flyweight
බැසිල් හෙන්රිකස්  29 62 g අඩු Lightweight
Diving Allan Smith 23 Men’s 3 meter springboard
පිහිනුම් Geoffrey Marks 20

එවකට අවුරුදු 17කුත් දින 331ක් වූ නාගලිංගම් එදිරිවීරසිංහම් ඔලිම්පික් තරගාවලියක් නියෝජය කළ මෙරට ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙනවා. 

1956 ගිම්හාන ඔලිම්පික් – මෙල්බර්න් 

සහභාගීත්වය

ක්‍රීඩාව සහභාගීත්වය වයස ඉසව්
මලල ක්‍රීඩා නාගලිංගම් එදිරිවීරසිංහම් 22 උස පැනීම
බොක්සිං චන්ද්‍රසේන ජයසූරිය 22 60 Kg අඩු Lightweight
හෙන්රි ජයසූරිය 26 54 Kg අඩු Bantamweight

නාගලිංගම් එදිරිවීරසිංහම් මෙවර ද ක්‍රීඩා උළෙලට එක් වෙමින් උස පැනීමේ ඉසව්වෙන් පළමු වටයේ දී මීටර් 1.92ක් උස පනිමින් අවසන් වටය සඳහා සුදුසුකම් ලබනවා. අවසන් වටයේ දී ඔහුගේ දක්ෂතාව වන්නේ 1.86ක්. හිමි වූ ස්ථානය 21. 

මේ උළෙලේ දී බොක්සිං තරගාවලිය නියෝජනය කළ චන්ද්‍රසේන ජයසූරිය සහ හෙන්රි ජයසූරිය ඥාති සහෝදරයන් වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් එතෙක් මෙතෙක් ඔලිම්පික් නියෝජනය කළ ඥාති සහෝදරයන් ලෙසින් ජයසූරිය යුගලය පත් වෙනවා. 

1960 ගිම්හාන ඔලිම්පික් උළෙල – Rome 

සහභාගීත්වය

ක්‍රීඩාව සහභාගීත්වය වයස ඉසව්
මලල ක්‍රීඩා  Linus Diaz 26 මැරතන්
බොක්සිං ධර්මසිරි වීරකෝන් 21 67 Kg අඩු Welterweight
සුමිත් මොහාන්දාස් ලියනගේ  24 57 Kg අඩු Featherweight
Cycling Maurice Coomarawel 20 Individual Road Race
පිහිනුම්  Tony Williams 21 Men’s 200m Breastroke 

1964 ගිම්හාන ඔලිම්පික් උළෙල – ටෝකියෝ

සහභාගීත්වය

ක්‍රීඩාව සහභාගිත්වය වයස ඉසව්
මලල ක්‍රීඩා කරුණාදාස රණතුංග 28 මීටර් 10 000
බොක්සිං Malcolm Bulner 20 67 Kg අඩු Welterweight
Winston Van Cuylenburg 21 60 Kg අඩු Lightweight
වෙඩි තැබීම රවී ජයවර්ධන 28 50m Rifle & Prone
හබරකඩගේ පෙරේරා 32 50m Rifle & Prone
මල්ලව පොර  අර්නස්ට් ප්‍රනාන්දු  25 Freestyle Flyweight

මෙම ක්‍රීඩා උළෙලේ දී කාගේත් කතා බහට ලක් වූ ශ්‍රී ලාංකීය චරිතයක් බවට පත් වීමට කරුණාදාස රණතුංග සමත් වුනා. ඉසව්වේ පළමු වැනියා වෙමින් රන් පදක්කම දිනා ගත් ඇමෙරිකාවේ Billy Mills විනාඩි 28:24.4කින් තරගයට අවසන් කරන විට කරුණාදාස රණතුංග විනාඩි 32:21.2කින් තරගය අවසන් කළේ ඉසව්වේ අන්තිමයා වෙමින්. 

ඔහුට පිටුපසින් තවත් ක්‍රීඩකයන් 9 දෙනෙක් සිටියත් ඔවුන් නියත පරාජය දැන තරගයෙන් ඉවත් වූවා. නමුත් ඉසව්වේ අවසන් මීටර් 1600 කරුණාදාස තනිව දිව්වා. පළමුව ප්‍රේක්ෂකයන් හු හඬ මධ්‍යයේ දිව්වත්, කරුණාදාස තරගය අවසන් කරන විට මුළු ප්‍රේක්ෂකාගාරයේ සිටි සියල්ලෝ ම හිඳ සිටි අසුන්වලින් නැගිට අත්පොලසන් නාද දෙමින්  කරුණාදාසට සුබ පැතුවා.

තරගයක දී “ජයග්‍රහණයට වඩා සහභාගීත්වය” උතුම් බැව් ලෝකයට පෙන්වූ කරුණාදාසගේ ඒ කතාව අදටත් ජපානයේ පාසල් පෙළ පොතකට ද ඇතුලත් ව තිබෙනවා. 

එමෙන් ම මෙම ඔලිම්පික් උළෙලේ දී පසුකාලයේ ජනාධිපතිවරයෙක් වූ ජේ. ආර්. ජයවර්ධනගේ පුත් රවි ජයවර්ධන ද සහභාගී වුණා. ඔහු කණ්ඩායමට එකතු වෙන්නේ කණ්ඩායම් නායකයා ලෙසින්.

1968 ගිම්හාන ඔලිම්පික් උළෙල – මෙක්සිකෝ 

සහභාගීත්වය 

ක්‍රීඩාව සහභාගීත්වය වයස ඉසව්
මලල ක්‍රීඩා  විමලසේන පෙරේරා 23 මැරතන්
බොක්සිං හතා කරුණාරත්න 26 48 Kg ට අඩු Lightweight
Sailing  රේ විජේවර්ධන 44 Finn

බොක්සිං තරග සඳහා සහභාගී වූ හතා කරුණාරත්න තම ඉසව්වේ දී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීම කැපී පෙණුනා. 

එතෙක් මෙතෙක් ඔලිම්පික් නියෝජනය කළ මෙරට වැඩිමල්ම තරගකරුවා ලෙසින් ලැයිස්තු ගත වු රේ විජේවර්ධන මෙවර කණ්ඩායමට ඇතුළත්.

රවි ජයවර්ධන

1972 ගිම්හාන ඔලිම්පික් උළෙල – Munich 

සහභාගීත්වය 

ක්‍රීඩාව සහභාගීත්වය වයස ඉසව්
මලල ක්‍රීඩා සුනිල් ගුණවර්ධන 23 මීටර් 100 සහ මීටර් 200
එස්. එල්. බී. රෝසා 28 මීටර් 10 000
විමලදාස වික්‍රමසිංහ 29 මීටර් 400
වෙඩි තැබීම  දයා රාජසිංහ නඩරාජසිංහම් 24 මීටර් 50 Rifle Prone

එතෙක් ඔලිම්පික් පිටියේ ශ්‍රී ලංකාව හැඳින්වීමට CEY  භාවිතා කළ ද මෙම ක්‍රීඩා උළෙලේ සිට ශ්‍රී ලංකාවේ දේශීය කේතය ලෙස SRI භාවිතා කෙරුණා. 

මීටර් 10,000 ඉසව්වට සහභාගී වූ එස්. එල්. බී. රෝසාට මූලික වටයේ දී හිමි වූයේ අවසන් ස්ථානය. එම ඉසව්වේ 1970 ආසියානු වාර්තාවේ හිමිකරු ද වූ ඔහු එම තරගයේ පසු බැසීම බොහෝ කතා බහට ලක් වුනා.  

1980 ගිම්හාන ඔලිම්පික් උළෙල – මොස්කව්

සහභාගීත්වය

ක්‍රීඩාව සහභාගීත්වය වයස ඉසව්
මලල ක්‍රීඩා ධර්මසේන සමරරත්න 30 මීටර් 4x 400
කෝසල සහබන්දු 31 මීටර් 4x 400
නිව්ටන් පෙරේරා 26 මීටර් 4x 400
ඒ. ප්‍රේමචන්ද්‍ර 27 මීටර් 4x 400

ඔලිම්පික් උළෙලක තනි ඉසව්වක් නියෝජනය කළ මෙරට පළමු කණ්ඩායම බවට මෙම කණ්ඩායම පත් වුනා. නමුත් ඔවුන් පළමු වටයේ දී ම ඉසව්වෙන් ඉවත් වීමට සිදු වෙනවා. එමෙන් ම මේ ක්‍රීඩා උළෙලේ දී වෙනත් ක්‍රිඩාවක් හෝ ඉසව්වක් සඳහා කිසිවෙක් තේරී පත් වූයේ නැහැ.

1984 ගිම්හාන ඔලිම්පික් උළෙල – ලොස් ඇනජලීස්

සහභාගීත්වය

ක්‍රීඩාව සහභාගීත්වය වයස ඉසව්
Sailing රනිල් ඩයස් 27 Soling
ලලින් ජීරසිංහ 26 470
පිහිනුම් ජුලියන් බෝලිං 18 400m සහ 1500m Freestyle, 400m Individual Medley
බර ඉසිලීම සුනිල් එම්. සිල්වා  29 52 Kg ට අඩු flyweight

1988 ගිම්හාන ඔලිම්පික් උළෙල – Seoul (දකුණු කොරියාව)

සහභාගීත්වය 

ක්‍රීඩාව සහභාගීත්වය වයස ඉසව්
මලල ක්‍රීඩා තිලකා ජිනදාස 25 මීටර් 100 කඩුලු පැනීම
විතානකන්දේ සමරසිංහ 26 මැරතන්
වෙඩි තැබීම දයා රාජසිංහ නඩරාජසිංහම් 40 මීටර් 50 Rifle Prone
Zal Chitty 26 10m air rifle
පිහිනුම්  ජුලියන් බෝලිං 24 400m Freestyle, 400m Individual Medley
දිපිකා චන්මුගම් 16 100m සහ 200m Breaststroke,

200m Individual Medley

ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු ඔලිම්පික් ක්‍රීඩිකාව සහ ළාබාලතම ක්‍රීඩිකාව ලෙස දීපිකා චන්මුගම් ඉතිහාසයට එක් වූයේ මෙම ඔලිපිම්පික් උළෙලෙන්. ඇය මේ තරගාවලිය නියෝජනය කරන විට වයස අවුරුදු 16කුත් දින 196ක් වුනා. 

1972 ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වූ දයා රාජසිංහ නඩරාජසිංහ නැවත වසර 16කට පසුව මෙම ඔලිම්පික් උළෙල සඳහා ද සුදුසුකම් ලැබීම ද කැපි පෙණුනා. 

1992 ගිම්හාන ඔලිම්පික් උළෙල – බාසිලෝනා

සහභාගීත්වය 

ක්‍රීඩාව සහභාගීත්වය වයස ඉසව්
මලල ක්‍රීඩා  විජිත අමරසේකර  30 හෙල්ල විසිකිරීම
දමයන්ති ධර්ශා 17 මීටර් 200
ශ්‍රියන්ත දිසානායක  23 මීටර් 100
ජයමිනි ඉලේපෙරුම 25 මීටර් 400
කරුණාරත්න කුරුප්පු 32 මැරතන්
ශ්‍රියානි කුලවංශ 22 උස පැනීම
ශ්‍රියානි ධම්මිකා මැණිකේ 22 මීටර් 800
බැඩ්මින්ටන්  නිරෝෂන් විජේකෝන්  28 ඒකළ
වෙඩි තැබිම පුෂ්පමාලි රාමනායක  24 air rifle
පිහිනුම්  ජුලියන් බෝලිං  26 200 m Freestyle, 

100 m සහ 200 m Butterfly

බර එසවීම මාලන් විජේවික්‍රම 20 52 Kg ට අඩු flyweight

1996 ගිම්හාන ඔලිම්පික් උළෙල – ඇට්ලන්ටා

සහභාගීත්වය 

ක්‍රීඩාව සහභාගීත්වය වයස ඉසව්
මලල ක්‍රීඩා  චින්තක ද සොයිසා 24 මීටර් 100
බෙනිල්ඩස් ප්‍රනාන්දු 27 දුර පැනීම
සුසන්තිකා ජයසිංහ 20 මීටර් 100, මීටර් 200
ශ්‍රියානි කුලවංශ 26 මීටර් 100 කඩුලු පැනීම
මහේෂ් පෙරේරා 22 මීටර් 110 කඩුලු පැනීම
සුගත් තිලකරත්න 22 මීටර් 400 
Diving ජනක බියන්විල  31 3m Springboard
වෙඩි තැබීම පුෂ්පමාලි රාමනායක 28 50m Rifle Three Position
මාලි වික්‍රමසිංහ  31 50m Rifle Three Position, 10m Air Rifle

මීටර් 400 ඉසව්වේ පළමු වටයේ 5 වැනි තරගයක දී සුගත් තිලකරත්න එම ඉසව්වේ ලෝක ශූර Michael Johnson පරාජය කරමින් පළමුවැනියා වීම කාගෙත් කතා බහට ලක් වුනා. නමුත් ඔහුට අර්ධ අවසන් පූර්ව වටයේ දී හිමි වූයේ 7 වැනි ස්ථානයයි. 

පෙර ඔලිම්පික් උළෙලේ උස පැනීමේ ඉසව්වට සුදුසුකම් ලැබූ ශ්‍රියානි කුලවංශ, මෙවර මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කිරීම කැපි පෙණුනා. 2000 ගිම්හාන ඔලිම්පික් උළෙල – සිඩ්නි

සහභාගීත්වය

ක්‍රීඩාව සහභාගීත්වය වයස ඉසව්
මලල ක්‍රීඩා සුගත් තිලකරත්න 27 මීටර් 400, මීටර් 4 x 400
රොහාන් ප්‍රදිප් කුමාර 25 මිටර් 400, මීටර් 4 x 400
රත්න කුමාර් 25 මීටර් 4 x 400
මනුර ලංකා පෙරේරා 21 මීටර් 4 x 400
රංග විමලවංශ 20 මීටර් 4 x 400
අර්ජන් රාජා රත්නායක  25 මීටර් 400 කඩුලු 
සරත් ප්‍රසන්න ගමගේ  28 මැරතන් 
සුසන්තිකා ජයසිංහ 24 මීටර් 100, මීටර් 200
දමයන්ති දර්ශා  25 මීටර් 400
ශ්‍රියානි කුලවංශ  30 මීටර් 100 කඩුලු 
නිම්මි ද සොයිසා  24 මීටර් 4 x 100
තමරා සමන්දීපිකා 26 මීටර් 4 x 100
ප්‍රදීපා කුමාරි හේරත්  24 මීටර් 4 x 100
Sailing ලලින් ජිරසිංහ 42 Finn
වෙඩි තැබිම රුවනි අබේමාන්න 30 25 m Pistol, 10 m Air Pistol
මාලි වික්‍රමසිංහ  36 50 m Rifle Three Positions, 

10 m Air Rifle

පිහිනුම් කොන්රඩ් ෆ්‍රැන්සිස්  19 100 m Butterfly
තීක්ෂණා රත්නසේකර  18 50 m Freestyle

ඩන්කන් වයිට් 1948 දී ලබා ගත් ඔලිම්පික් පදක්කමට පසුව නැවත වතාවක් පදක්කමක් වාර්තා වෙන්නේ මෙම ඔලිම්පික් උළෙලේදී. ඒ මීටර් 200 ඉසව්වට සහභාගී වූ සුසන්තිකා ජයසිංහ ලබා ගත් ලෝකඩ පදක්කම හේතුවෙන්. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<

එම ඉසව්වේ රන් පදක්කම්ලාභී Marion Jones තහනම් උත්තේජක භාවිතා කිරීම හේතුවෙන් ඇයගේ පදක්කම අහිමි කරනු ලැබූ අතර එය දෙවැනි තැන ලබා ගත් බහමාස් ක්‍රීඩිකා Pauline Davis-Thopson හට හිමි වුනා. ඒ අනුව සුසන්තිකාට රිදි පදක්කම හිමි වුනා.

මීටර් 400 පිරිමි සහාය දිවීමේ ඉසව්වට සහභාගී වූ කණ්ඩායම අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සමත් වීමත්, සුසන්තිකා ජයසිංහ මීටර් 100 ඉසව්වේ දී ද අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබීමත් විශේෂයි. 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩිම ක්‍රීඩක ක්‍රීඩකාවන් සංඛ්‍යාවක් සහභාගී වූයේ මෙම ක්‍රීඩා උළෙලේ දී. එම ගණන 18 දෙනෙක්. ඉන් 13 දෙනෙක් ම නියෝජනය කළේ මලල ක්‍රීඩා ඉසව්.

2004 ගිම්හාන ඔලිම්පික් උළෙල – ඇතෑන්ස් 

සහභාගීත්වය

ක්‍රීඩාව සහභාගීත්වය වයස ඉසව්
මලල ක්‍රීඩා අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 26 මැරතන්
රොහාන් ප්‍රදීප් කුමාර 29 මීටර් 400
මංජුල කුමාර  20 උස පැනීම
දමයන්ති දර්ශා  29 මීටර් 400
සුසන්තිකා ජයසිංහ  28 මීටර් 100
වෙඩි තැබීම පුෂ්පමාලි රාමනායක  36 10 m Air Rifle, 

50 m Rifle Three Positions

පිහිනුම්  කොන්රඩ් ෆ්‍රැන්සිස්  23 100 m Butterfly
මේනකා ද සිල්වා  19 50 m Freestyle

මීටර් 200 ඔලිම්පික් පදක්කම්ලාභි සුසන්තිකා ජයසිංහ මෙවර සහභාගි වෙන්නේ මීටර් 100 ඉසව්වටයි. නමුත් එහි දී ඇති වු ආබාධිත තත්වයක් මත ඇයට එම ඉසව්වට සහභාගීවීමට ලැබෙන්නේ නැහැ.

2008 ගිම්හාන ඔලිම්පික් උළෙල – Beijing

සහභාගීත්වය

ක්‍රීඩාව සහභාගීත්වය වයස ඉසව්
මලල ක්‍රීඩා  සුසන්තිකා ජයසිංහ  32 මීටර් 200
නදීකා ලක්මාලි  27 හෙල්ල වීසි කිරිම
බැඩ්මින්ටන් තිළිණි ජයසිංහ  23 ඒකළ
බොක්සිං අනුරාධ රත්නායක  33 flyweight
වෙඩි තැබීම එදිරිසිංහ සේනානායක  38 10m Air Pistol, 50 m Pistol
පිහිනුම්  ඩැලියෙල් ලී  18 50m Freestyle
මයුමි රහීම්  17 100m Backstroke
බර එසවීම චින්තන විදානගේ  27 69Kg අඩු

මෙවර සුසන්තිකා ඔලිම්පික් උළෙල නියෝජනය කරන්නේ මීටර් 200 ඉසව්වෙන්. නමුත් එහි දී ඇයට අර්ධ අවසන් වටයෙන් ඉදිරියට යෑමට නොහැකි වෙනවා. කෙසේ වෙතත් ඇය පිට පිට ඔලිම්පික් උළෙල හතරකට සහභාගී වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට මෙම උළෙල නියෝජනය කිරීමත් සමඟ පත් වෙනවා.

 

2012 ගිම්හාන ඔලිම්පික් උළෙල – ලන්ඩන්

සහභාගීත්වය

ක්‍රීඩාව සහභාගීත්වය වයස  ඉසව්
මලල ක්‍රීඩා අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ  34 මැරතන්
Christine Merrill මීටර් 400 කඩුලු 
බැඩ්මින්ටන් නිලූක කරුණාරත්න  27 ඒකළ
තිළිණි ජයසිංහ 27 ඒකළ
වෙඩි තැබීම මංගල සමරකෝන්  32 10m Air Rifle, 50 m Rifle Prone
පිහිනුම්  හේෂාන් උනන්ඹුව 20 100m Backstroke
රෙෂිකා උඩුගම්පොළ  19 100m Freestyle

2016 ගිම්හාන ඔලිම්පික් උළෙල – Rio de Janeiro

සහභාගීත්වය

ක්‍රීඩාව සහභාගීත්වය වයස ඉසව්
මලල ක්‍රීඩා අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ  38 මැරතන්
නිලුකා ගීතානි රාජසේකර 34 මැරතන්
සුමේධ රණසිංහ  25 හෙල්ල වීසිකිරීම
බැඩ්මින්ටන්  නිලූක කරුණාරත්න 31 ඒකළ
ජූඩෝ  චාමර ධර්මවර්ධන   24 73 Kgට අඩු 
වෙඩි තැබීම මංගල සමරකෝන්  36 10m Air Rifle, 50m Rifle Prone
පිහිනුම්  මැතිව් අබේසිංහ  20 100m Freestyle
කිමිකෝ රහීම්  17 100m Backstroke
බර ඉසිලීම සුදේශ් පීරිස්  31 62Kg අඩු

2020 ගිම්හාන ඔලිම්පික් උළෙල – ටෝකියෝ

සහභාගීත්වය

ක්‍රීඩාව සහභාගීත්වය වයස ඉසව්
මලල ක්‍රීඩා යුපුන් අබේකෝන්  26 මීටර් 100
නිමාලි ලියනාරච්චි 31 මීටර් 800
බැඩ්මින්ටන් නිලූක කරුණාරත්න 36 පිරිමි ඒකල
වෙඩි තැබීම ටෙහානි එගොඩවෙල 35 10m Air Rifle
පිහිනුම් මැතිව් අබේසිංහ 24 100m Free style
Aniqah Gaffoor 17 100m Butterfly
ජිම්නාස්ටික්  මිල්කා ගෙහානි  18 Artistic Gymnastics
Equestrian  Mathilda Karlsson 36 ඒකළ
ජූඩෝ  චාමර ධර්මවර්ධන 28 73 kg බර පංතිය

32 වැනි වරටත් පැවැත්වෙන ගිම්හාන ඔලිම්පික් උළෙලේ සමාරම්භය අද (23) සවස 4:30 පමණ පැවැත්වීමට නියමිතයි. ඒත් සමඟින් නිල වශයෙන් මෙවර ඔලිම්පික් සැණකෙළිය ආරම්භ වන අතර සමාරම්භක අවස්ථාවේ දී ශ්‍රී ලංකා ධජය පෙරටු කරගෙන රැගෙන යන්නට මිල්කා සහ චාමර සුදුසුකම් ලබා තිබෙනවා.කෙසේ නමුත් වසර ගණනාවක පදක්කම් ඉඩෝරය අවසන් කරමින් ශ්‍රී ලංකාවට පදක්කමකින් මෙම ඔලිම්පික් උළෙල නිමා කරන්නට හැකිවේවායි යන්න අප සැමගේ බලාපොරොත්තුවයි.

මෙවර ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ විඳගන්න රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<