පළමුවැනියා වී සිටිද්දී ක්‍රීඩාවට සමු දුන් “අයි. පී. සුමිත්‍රා”

188
 

“ඒ දවස්වල උස පැනීමේ ඉසව්වට පිළිගැනීමක් තිබුණේ නැහැ. මේ නිසා ඉසව්ව මාරු කරන්න ඕන කියන තැන මම හිටියා. කඩුලු පැනීමේ ඉසව්වේදීත් මම අවුරුදු ගාණක් පළමුවැනියා වෙනවා. ඒක ඉබේ ම ආ දක්ෂතාවක්. 

යම් යම් Practical දේවල් ටිකක් ඉගෙන ගන්න විතරයි තිබුණෙ. නමුත් මගේ වැඩි කැමැත්ත තිබුණෙ උස පැනිමට. මම ඒ දේ උපරිමයෙන් ම කළා. අන්තිමට ඒ ජයග්‍රහණත් තුරුළු කරගෙන ම ක්‍රීඩාවට සමුදුන්නා. හැබැයි මම ක්‍රීඩාවෙන් සමුගත්තේ මගේ ඉසව්වෙන් හෝ කඩුලු පැනීමෙන් පරාද වෙලා නෙමේ. පළමු වැනියා වෙලා ඉන්දැද්දි.”

80 දශකයේ දක්ෂ මලල ක්‍රීඩිකාවක් වූ අයි. පී. සුමිත්‍රා, ThePapare.com සමඟ කතාබහකට එක් වූයේ එලෙස පවසමින්. ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී මෙන් ම ජාතික මලල ක්‍රීඩා උළෙලේ ද දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් අවස්ථා ගණනාවක දී ම සම්මාන දිනූ සුමිත්‍රා උස පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව වසර කිහිපයක් ම තමන් සතු කරගෙන හිටියා.  

“ජාතික වාර්තාවක මගේ නම නිල වශයෙන් ලියැවෙන කොට මට වයස අවුරුදු 16ක්. ඒ වෙද්දී ශ්‍රී ලංකා වාර්තාව තිබුණෙ 1958 දී නොබල් කිල් අඩි පහමාරක් පණිමින් තබා තිබුණ වාර්තාව. සුගතදාස එකේ තිබුණ ජාතික මලල ක්‍රීඩා උළෙලේ දී මම එම උසම පනිමින් ඒ වාර්තාව සම කරනවා. මම අවුරුදු 19ක් වෙනකම් කිසිදු තරගයක් පරාජය වෙලා නැහැ. කඩුලු පැනීමත් කළා, ඒකෙන්වත් පරාජය වෙලා නැහැ. උස පැනීමේ හැම තරගයක දී ම මම අඟල් භාගයක් හරි වැඩිපුර පැන්නා. නමුත් නිශ්චිත විනිශ්චයකරුවන් ප්‍රමාණයක් නැහැ කියල ඒ කිසි තරගයක මගේ දක්ෂතාවලට හිමි තැන ලැබුණෙ නැහැ. පළමුවැනියාට ලැබෙන Cup එක විතරයි ගොඩාක් තැන්වල දී ලැබුණේ.”

සුමිත්‍රා පවසනවා. පාසල් ක්‍රීඩිකාවක් ලෙස සුමිත්‍රාට මේ දේවල් දරා ගත නොහැකි වුනත් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ කැමැත්ත නිසා ඒ දේවල් අමතක කරමින් සුමිත්‍රා දිගින් දිගට ම ක්‍රීඩාවේ නිරත වෙනවා. 

“ඊට අවුරුදු 3කට විතර පස්සේ පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති ජාතික මලල ක්‍රීඩා උළෙලේ දී මම අඩි 5.2ක් පණිමින් එම වාර්තාව මම සතු කර ගන්නවා. එතකොට මට අවුරුදු 19ක්. වසර 25ක් පැරණි වාර්තාවක් මම බිඳ හෙළන්නේ. එදා මට ඊට වඩා උස පනින්න පුළුවන්කම තිබුණා. නමුත් මට තරගයට සහභාගී වෙන්න වුනේ පැමිණි විනිශ්චයකරුවන්ගේ කලබල කිරීම් මැද. 

ඒකට හේතු වුණේ තරගය ආරම්භ වෙද්දී තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා වූ අධ්‍යාපන හා රැකිරක්ෂා කටයුතු ඇමති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ තිබුණා. සංවිධායකයන්ට අවශ්‍ය වුනේ තරගය ඉක්මනින් අවසන් කරල ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වන්න. ඒ වෙද්දී මම අඩි 4.11ක් පැනල තිබුණෙ. අනෙක් ක්‍රීඩිකාවන් තරගයෙන් ඉවත් වෙලා හිටියේ. මේ අය ඊට පස්සෙ එක පාරට ම අඩි 5.1කට උස දැම්මා. එක හුස්මට මේ දේවල් සිදු වුණේ. කවදාවත් එක පාරම එහෙම උස දැමීමක් සිදු වෙන්නේ නැහැ.  කොහොම හරි මම එදා අඩි 5.2ක් පැන්නා. මට අවශ්‍ය තරම් කාලය දුන්න නම් මම විශ්වාස කරනවා එදා ඒ දක්ෂතාව ඊට වඩා වැඩි වෙනවා කියලා.”

එම තරගාවලියේ එක ම වාර්තාව වූයේ ද සුමිත්‍රාගේ ඒ දක්ෂතාවය පමණයි. 

“ඒ දවස්වල මම ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ලිපිකරුවෙක් ලෙසින් වැඩ කළේ. රස්සාවට යන ගමන් තමයි පුහුණුවීම් කළේ. පාසල් කාලයේ සිට ම එම්මානුවෙන් ප්‍රනාන්දු මහතා තමයි මේ ඉසව්වල මොනවා හරි ඉගැන්නුවේ. එතුමත් ඉතා කාර්යබහුල කෙනෙක්. නමුත් ලැබෙන වෙලාවේ දී ඔහු දන්න දේ අපිට ඉගැන්වුවා. 

1983 අනුරාධපුරයේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී මම මීටර් 1.58ක් පනිමින් මගේ ම වාර්තාව නැවත අලුත් කරනවා. එම තරගාවලියේ කඩුලු පැනීමේ ඉසව්වත් මම ජයග්‍රහණය කරනවා. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා අතින් සම්මාන ලබනවා.”

සුමිත්‍රාගේ ගම කිතුල්වල. දිවුලපිටියේ මායිමකට වෙන්න තිබෙන මනරම් පරිසරයකින් යුත් ගම්මානයක්. සුමිත්‍රලාගේ පවුලේ සුමිත්‍රාත් සමඟ සහෝදර සහෝදරියෝ 5 දෙනෙක්. අයියලා දෙන්නෙක් සහ අක්කලා දෙන්නෙක්ගෙන් යුත් පවුලේ සුමිත්‍රා බාලයා. පියා ගොවිතැනින් ජීවිතය සරි කරගත්තා. අම්මත් ඒ කටයුතුවලට දායකත්වය දක්වමින් මේ කුටුම්භය සරි කරගන්න වෙහෙස වුනා. අද වෙද්දී සුමිත්‍රගේ ඒ ගෞරවණීය දෙමාපියන් දෙපළ ජීවතුන් අතර නැහැ.

“මම මූලික අධ්‍යාපනය ලැබුවේ දිවුලපිටියේ, කිතුල්වල මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ. ඒ දවස්වල වයස අවුරුදු 11න් පහළ වයස් කාණ්ඩයේ සිට මලල ක්‍රීඩා තරගවලට සහභාගී වුනා. උස පැන්නා, දුර පැන්නා, කෙටි දුර දිව්වා. පාසල් වැඩවලට වඩා කළේ දුවන පනින එක. කලාප සහ දිස්ත්‍රික් තරගවලින් ජයග්‍රහණ ලැබුවා. ඒ දක්ෂතා නිසාම අවුරුදු 12 දී විතර ජාතික මහා ක්‍රීඩා උළෙලටත් ඉදිරිපත් වුනා.” 

එහෙම ක්‍රීඩා පිටියේ සක්‍රීය වූ සුමිත්‍රාට, ඇය පෑ දක්ෂතා හේතුවෙන් ම ඇති හැකි පාසල් බොහොමයකින් ආරාධනා ලැබෙනවා.

“ඒ දවස්වලම මට Newstead බාලිකාවෙන්, Ave Maria Convent එකෙන් වගේ පාසල්වලින් කතා කරනවා. කොච්චර සෙල්ලම් කරන්න දුන්නත් තාත්තා ටිකක් නීති දාගෙන තමයි අපිව හැදුවේ. මුලින් ම ගමෙන් යවන්න කැමැත්තක් තිබුණේ නැහැ. ඒ දවස්වල අපිට හොඳ කියන තේරුමක් තිබුණෙ නැහැ. ලොකු පාසලකට යන්න තමයි ආසාව තිබුණෙ. ඒත් තාත්තගෙ නීතිරීති ඒකට ඒ තරම් ඉක්මනට පාර කැපුවෙ නැහැ. ඒ නිසා ලොකු පාසලකට යන ආසාව අයින් කරල දුවන පනින වැඩේ කළා.”

නමුත් ඉතාම කෙටි කාලයකින් සුමිත්‍රාගේ ලොකු පාසලකට යන ආසාව ඉටු වෙනවා. ඒක සුමිත්‍රාගේ තේරීමක් නෙමේ, පියාගේ තේරීමක්. පාසල වුනේ මීගමුවේ Ave Maria Convent එක. ගමේ පාසලෙන් පස්සේ උසස් පෙළ දක්වා ම සුමිත්‍රාගේ පාසල වුනේ ඒක. 

“Convent එකේ දී තුන් වේලම කෑවෙ Hostel එකෙන්. ගෙදර ඉන්න කාලෙ කෑව බීව දේවල්වල හයියෙන් තමයි දිවුවේ. විටමින් පෙත්තක්වත් දැකල තිබුණෙ නැහැ. මට දිනන්න ආසාවක් පමණයි තිබුණෙ. ඒ කාලෙ ඒ හැටි තරග තිබුණෙත් නැහැ. වැලි ගොඩවල්, ලී ගොඩවල්වලට පැනල තමයි මම දිනුවේ. 

අපේ අම්මලා තාත්තලා ලොකු සල්ලිකාරයෝ නෙමේ. දුකක් නැතිව අපි හැදුවා. ලොකු දේවල් දුන්නේ නැති වුනාට වේල් තුනම කන්න දුන්නා. අපිට ඒ දවස්වල මුං ඇට කන්න දෙනකොට, ගොටුකොළ සම්බෝලයක් දෙන කොට අපි හිතුවේ අපිට ලැබෙන්නේ ලෝකේ දුප්පත්ම කෑම දෙන්නේ කියලා. දැන් තමයි තේරෙන්නේ අපිට අපේ අම්මලා, තාත්තලා දීල තියෙන්නේ හොඳම දේවල් කියලා. ඔවුන් අපිව කෑමෙන් බීමෙන් පවා ආරක්ෂා කරල තියෙනවා. අනතුරක් වෙයි කියලා Hostelවලට දාල ආරක්ෂාව දුන්නා. ඇත්තට ම ඔවුන් ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්.” 

ගමෙන් නගරයට එන සුමිත්‍රාට එතැන ආගන්තුක වූවත් ඇයගේ ඉලක්කය වී තිබුණේ මලල ක්‍රීඩාව බැවින් ඇයට එහි තනියක් දැනෙන්නේ නැහැ. ඇය පෙරටත් වඩා වෙර වීරියෙන් පුහුණුවීම්වල යෙදුණා. ඒක ආසාවට කළ දෙයක් වූවා මිසක් ඒ මගින් අනාගතයට යමක් එකතු කර ගැනීමේ අදහසක් තිබුණේ නැහැ. 

“Ave Maria Convent එකේ දි සහභාගී වූ සියලුම තරගවලින් ජයග්‍රහණය කළා. පාසලෙන් මාව ඉතාම අගය කළා. ඒ වකවානුවේ මමත් එක්ක දුවන්න පනින්න වෙනත් දක්ෂ කෙනෙක් හිටිය නම් ඒ කලාතුරකින් තමයි. නමුත් ගොඩාක් අසාධාරණයන්ට ලක් වුනා. එක අවස්ථාවක දී ලලිත් ඇතුලත්මුදලි මහතා ආරාධිතයෙක් ලෙසින් සහභාගී වූ Meet එකක දී මම උස පැනීමෙන් ශ්‍රී ලංකා වාර්තාවක් තබනවා. 

ඒ කාලෙ දැන් වගේ තාක්ෂණ ක්‍රමවේද තිබුණෙ නැහැ. විනිශ්චයකරුවන් තිදෙනෙක් හිටියෙ නැහැ කියල මට ඒ වාර්තාව දුන්නේ නැහැ. දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානය දීල ඔවුන් පැත්තකට වුනා. අපිටත් සම්මානය අරගෙන පැත්තකට වෙන්න වුනා. ඉල්ලගෙන ගියේ නැහැ.”

මේ දේවල් සුමිත්‍රාලාට නිතර විඳින්න වුනා. නමුත් සුමිත්‍රා නෙමේ පස්ස බැලුවේ. ඇය පෙරටත් වඩා බොහොම ජවසම්පන්නව තරගවලට සහභාගි වෙනවා.  ඒ ආ ගමන ගැන තමයි සුමිත්‍රා ThePapare.com අප සමඟ මුලින් ම පැවසුවේ. 

“මම මේ ගමන ආවේ තනියම. දෙමාපියන්ට වුනත් බරක් වුන කෙනෙක් නෙමේ. කවදාවත් අඩු-පාඩු ඉල්ලලා කරදර කරල නැහැ. තිබුණ විදිහට තමයි දිවුවේ. ක්‍රීඩාවෙදි මුලින්ම ගුරුහුරුකම් දුන්නේ පාසලේ PT කරපු මිස්ලා සර්ලා. ඊට පස්සේ එම්මානුවෙල් සර්. ඒ වගේ ම ක්‍රීඩා නිලධාරිනියක් වූ රංජනී අමරලාල් මිස්. ඔවුන් දන්න දේවල් අපිට ඉගැන්වුවා. 

උස පැනීම, කඩුලු පැනීමට අමතර ව මම නෙට්බෝල් සහ වොලිබෝල්වලින් සමස්ත ලංකා දිනල තියෙනවා. දිවුලපිටියෙ ජිනදාස මුතුගල සහ විජය මුතුගල යන මහත්වරුන් මට ගොඩාක් උදව් කළා. මාව ඒ තරමින් ඉදිරියට ගෙන ඒමට සහයෝගය දැක්වූ ඒ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා” සුමිත්‍රා පවසනවා. 

සුමිත්‍රාගේ මේ වෙද්දී තමන් සතු දැනුමත් ඊට ඈදා ගත් නව දැනුමත් සමගින් විවිධ වයස් කාණ්ඩයන් හී පිරිස් සඳහා රිද්මයානුකූල ව්‍යායාම පංති පවත්වනවා. 

“ක්‍රීඩාවේ දී ලොකු කලකිරීම් තිබුණා. ලැබෙන්න තිබුණ දේවල් දුන්නේ නැහැ. නමුත් දැන් වෙද්දී ඒ දේවල් අමතක කරල ඉන්නේ. ඒ අය මාව පරාජය කරන්න බැලුවා. නමුත් මම පරාද වුනේ. අදටත් මම මගේ ජිවිතෙන් පරාජය වෙලා නැහැ. මම කිසි දෙයක් ලැබෙනකම් බලාගෙන හිටියෙ නැහැ. ලැබුණ දෙයින් සතුටු වුනා. හඹාගෙන යෑමේ පුරුද්ද එදා ඉඳලම තිබුණා. ඒ කවුරුත් අසාධාරණයට ලක් කරල නෙමේ. 

ඒ වගේම මම ලාභය සඳහා කවුරුත් ඇසුරු කරල නැහැ. අනිසි විදිහට කිසිවක් අරගෙනත් නැහැ. දුප්පත් පොහොසත් භේදයක් නැහැ. අදටත් මම ළඟට පංති එන බොහෝ දෙනෙක්ට මම උදව් කරනවා. මම මුදලට ම නෙමේ මේක කරන්නේ. සල්ලි නැති අයට නොමිලේ කරනවා. මට මේකෙන් යම්කිසි මුදලක් ලැබෙනවා. ඒක ආර්ථිකයට ලැබෙන දෙයක්. ඒ ලැබෙන මුදලට වඩා නිරෝගී පුද්ගලයෙක් බිහිකිරීමට කරන වෙහෙසෙන් මම විශාල තෘප්තියක් ලබනවා.”

සුමිත්‍රගේ සැමියා, පෞද්ගලික ආයතනය විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. ක්‍රීඩා පුහුණුවට යන එන ගමන් කුළුපඟ වූ ආදරණීයයෙක්. එකම පුතා මහේෂ පෙරේරා, ක්‍රිකට් ක්‍රීඩාවෙන් සහ චෙස් ක්‍රීඩාවෙන් ජාතික මට්ටම දක්වා ගිය අයෙක්. නමුත් වැඩිදුර අධ්‍යාපනය හේතුවෙන් ක්‍රීඩාවෙන් ඈත් වෙනවා. ඔවුන් දෙදෙනා සමඟ සුමිත්‍රා මේ වන විට පදිංචිව සිටින්නේ පන්නිපිටියේ. නමුත් අදටත් ගමට, ගමේ පාසලට සේ ම Ave Maria Convent එකට ගොස් ඒ සුවදායි පරිසරය විදින්න තමයි කැමති කියලා සුමිත්‍රා පවසනවා. 

මලල ක්‍රීඩා බිමේ නොමැකෙන පරිච්ඡේදයක කොටස්කාරියක් වූ අයි. පී. සුමිත්‍රා අද දවසේ මලල ක්‍රීඩාව දෙස ද ඉතාම විමසිල්ලෙන් බලා සිටිනවා. 

“ඒ දවස්වල දක්ෂයෝ ගෝනි ගානට හිටියා. ඔවුන් ඔපමට්ටම් කරල ගන්න පිරිසක් හිටියෙ නැහැ. ඒ නිසා ගොඩක් දෙනෙක් හැලිලා ගියා. දැන් ක්‍රීඩාව සල්ලි බවට පරිවර්තනය වෙලා. පහසුකම් උපරිමයෙන් ම තියෙනවා. ඒත් දක්ෂයෝ අඩුයි. මලල ක්‍රීඩා කරන හැම කෙනෙක්ගේ ම විවිධ දක්ෂතා තියෙනවා. ඔවුන් මෙයින් පසු යන්න ඕන මාර්ගවලට දාන්න ඒ හා සම්බන්ධ පාලකයන් දැනගත යුතුයි. නමුත් එහෙම එකක් පේන්න නැහැ. දැන් ඉන්නවා ද මැරුණ ද දන්නෑ. පැරණි ක්‍රීඩකයන් ගැන සොයා බැලීමක් ඇත්තෙම නැහැ. ඒක ලොකු වරදක්” ඇය පවසනවා. 

මලල ක්‍රීඩා බිමෙන් ලත් පන්නරය සහ ඇසූ දුටු දේ මගින් අද දවසේ ජීවත් වෙන පිරිස නීරෝගිමත් කිරීමට ගන්නා වූ වෙහෙසට අයි. පී. සුමිත්‍රාට ThePapare.com හී සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<