සම්පත් බැංකුවට හා ශ්‍රී ලංකා ටෙලිකොම්ට වැඩි ගෞරවය

805
Mercantile Football

වෙළඳසේවා පාපන්දු තරගාවලියේ “C” කාණ්ඩය යටතේ තරග කරන කණ්ඩායම් 4ක තරග ද්විත්වයක් අදත් (19) සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ දී පැවැත්විය. එම තරගවලින් සම්පත් බැංකු කණ්ඩායම හා ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.

ජයග්‍රහණය LB ෆිනෑන්ස්ට හා අමානා බැංකුවට

වෙළඳසේවා ලීග් පාපන්දු තරගාවලියේ “D” කාණ්ඩයේ තරග ද්විත්වයක් අදත් (18) සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ දී පැවැත්විය. එම තරග වලින් LB ෆිනෑන්ස් කණ්ඩායම හා අමානා බැංකු කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කරන ලදි.

සම්පත් බැංකු කණ්ඩායම සහ සෙලාන් බැංකු කණ්ඩායම

මෙම තරගයෙන් ගෝල 3 – 0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට සම්පත් බැංකු කණ්ඩායමට හැකිවිය.

සෙලාන් බැංකු කණ්ඩායමේ චාමර ජනජීවගේ (13) පා පහරින් දිනයේ ප්‍රථම තරගය ආරම්භ වූ අතර තරගයේ 2වන මිනිත්තුවේ දී සම්පත් බැංකු කණ්ඩායම විසින් පළමු ගෝලයක් වාර්තා කරන ලදි. සී. එන්. බී. නුගහපොලගේ (11) පාදයෙන් එම ගෝලය වාර්තා විය.

සෙලාන් ක්‍රීඩක ධනුක බණ්ඩාර (3) විසින් ගෝලයක් වාර්තා කිරීමේ අපේක්ෂාවෙන් ගෝල රාමුව වෙත එල්ල කළ පන්දු යොමුව අසාර්ථක වූ අතර ඔවුන්ට එම අවස්ථාවේ දී හිමි වූ කෝණ අවස්ථාව ද අසාර්ථක විය.

තරගයේ 30 වන මිනිත්තුවේ දී සම්පත් බැංකු ක්‍රීඩක නානායක්කාර (9) අනෙකුත් ක්‍රීඩකයින් අතරින් පන්දුව සූක්ෂමව රැගෙන ගෙන ගිය ද, ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු ගෝල රාමුව ආසන්නයේ දී ඔහුව වැළැක්විය. එම වැළැක්වීම නීතිවිරෝධී වැළැක්වීමක් ලෙස විනිසුරු නියම කළ අතර සම්පත් බැංකු කණ්ඩායමට දඩුවම් පහර අවස්ථාවක් හිමිවිය. දිලුම් ආරියවංශ (6) එය සාර්ථක කර ගැනීමට සමත් විය.

පළමු අර්ධය: සම්පත් බැංකුව 02 – 00 සෙලාන් බැංකුව

දෙවන අර්ධය ආරම්භයේදීම සම්පත් බැංකු ක්‍රීඩක සී. එන්. බී. නුගහපොල (11) වේගයෙන් දිව යමින් ගෝල රාමුව වෙත යොමු කළ පන්දුව, ප්‍රතිවාදී ගෝල රකින්නා විසින් සාර්ථක ලෙස වැළැක්විය.

ඊට පසු පන්දුව ලබා ගත් සෙලාන් බැංකු ක්‍රීඩක චාමර ජනජීව (13) පන්දුව මනාව හසුරුවමින් මීටර් 10 පමණ දුරින් එල්ල කළ පන්දුව, ගෝල රකින්නා විසින් සාර්ථකව වළක්වන ලදි.

එවැනි අවස්ථාවන් ගණනාවක් මෙම අර්ධයේ දී දිස් වූ අතර පන්දුව වැඩි වේලාවක් සෙලාන් බැංකු සීම‍ාවේ රඳවා ගනිමින් ලකුණු රැස් කිරීමට සම්පත් බැංකු කණ්ඩායම උත්සහ කළේය.

තරගයේ 55 වන මිනිත්තුවේ දී සම්පත් බැංකු ක්‍රීඩක දිනූෂ නානායක්කාර (9) විසින් ‍ගෝලයක් වාර්තා කළේ තරගයේ ජය තම කණ්ඩායමට හිමි කරදෙමිනි. එය දෙවන අර්ධයේ දී ලබා ගත් එකම ගෝලය ද විය.

සම්පූර්ණ ලකුණු: සම්පත් බැංකුව 3 – 00 සෙලාන් බැංකුව

ගෝල ලාභීන්

  • සම්පත් බැංකුව – සී. එන්. බී. නුගහපොලගේ 02’, දිලුම් ආරියවංශ 30’,දිනූෂ නානායක්කාර 55’

ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම සහ HSBC බැංකු කණ්ඩායම

මෙම තරගයෙන් ගෝල 6 – 0ක් ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරන ලදී.

තරගය ආරම්භ වී ගත වූ 5 වන මිනිත්තුවේ දී දකුණු අන්තයෙන් දිව යමින් පළමු ගෝලය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායමේ කේ. ජී. අයි. මදුෂංක (10) සමත්විය. ඉන් පසු තවත් මිනිත්තු 2ක් ගත වූ තැන, එනම් 7 වන මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ ටෙලිකොම් කණ්ඩායම තවත් ගෝලයක් වාර්තා කරමින් ලකුණු 2ක් දක්වා පරතරය වැඩි කර ගත්තේය. එච්. ජී. ඩී. මදුෂංක (07) එම ගෝලයේ හිමිකරුවා විය.

HSBC බැංකු ක්‍රීඩකයින් සතුව තිබූ පන්දුව යළිත් වරක් ටොලිකොම් කණ්ඩායම ලබා ගත් අතර පී. බුද්ධික (11) පිටියේ මැද සිටි අසංක හේනගේ (08) වෙත යොමු කිරීමෙන් අනතුරුව 12 වන මිනිත්තුවේ දී ඔහු එය ගෝලයක් බවටත් පත් කළේය.

මෙලෙසින් ටෙලිකොම් කණ්ඩායම ගෝල වාර්තා කරන විට එස්. ප්‍රනාන්දු (13) විසින් ගෝලයක් අපේක්ෂාවෙන් සම්කි හයිවුදීන් (7) වෙත පන්දුව යොමු කළත්, එය සාර්ථක ලෙස ගෝල රාමුව තුළට යොමු කිරීමට ඔහුට නොහැකි විය.

15 වන මිනිත්තුවේ දී ශ්‍රී ලංකා ටොලිකොම් කණ්ඩායම තවත් ගෝලයක් වාර්තා කරන්නේ ලකුණු පරතරය 4ක් දක්වා වැඩි කරගනිමිනි. එච්. ජී. එස්. ප්‍රියවංස එම ගෝලය වාර්තා කරන ලදී.

පළමු අර්ධයේ දී HSBC ක්‍රීඩකයින් අසරණ කරමින් 29 වැනි මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ක්‍රීඩක එච්. ජී. ඩී. මදුෂංක සමත්විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකා ටෙලිකොම් 05 – 00 HSBC

HSBC කණ්ඩායමේ ඩිලාන් ඇන්ජලෝ‍ගේ පා පහරින් ආරම්භ වූ දෙවන අර්ධයේ දී පටන් ගැන්මේදී ම ගෝලයක් වාර්තා කිරීමට ඔවුන්ට අවස්ථ‍ාව උදා වුවත් එය අසාර්ථක විය.

ඊට සුළු වේලාවකට පසු ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායමේ එච්. ජී. එස්. පියවාස (06) විසින් තනිව වම් අන්තයෙන් පන්දුව රැගෙන එල්ල කළ වේගවත් පහරක් ගෝල රාමුව තුලට යන්නට නොදී වැළැක්වීමට ප්‍රතිවාදී ගෝල රකින්නා මැදිහත්විය.

ඉන් පසු ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායමට කෝණ අවස්ථා දෙකක් හිමි වුව ද දෙකම අසාර්ථක විය.

දෙවන අර්ධ‍යේ දී අවස්ථා කිහිපයක දී ම SLT ක්‍රීීඩකයින් පන්දුව ප්‍රතිවාදී ගෝල සීමාව වෙත ගෙන ගිය ද ඒවා සාර්ථක ගෝල බවට පත් කිරීමට ප්‍රතිවාදීන් ඉඩ ලබා දුන්නේ නැත.

එහෙත් 59 වැනි මිනිත්තුවේ දී එච්. ජී. ඩී. මදුෂංක (07), කේ. ජී. අයි. මදුෂංක (10) වම් අන්තයෙන් යොමු කළ පන්දුව ගෝලයක් බවට පත් කරමින් HSBC කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් විය.

සම්පූර්ණ ලකුණු: ශ්‍රී ලංකා ටෙලිකොම් 06 – 00 HSBC

ගෝල ලාභීන්

  • ශ්‍රී ලංකා ටෙලිකොම් – කේ. ජී. අයි. මදුෂංක 05’, එච්. ජී. ඩී. මධුෂංක 07’, 29’, 59’ අසංක හේනගේ 12’, එච්. ජී. එස් ප්‍රියවංස 15’

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට