”පියෑඹූ සීක්වරයා”ගේ සමුගැනීම

232

ඉන්දීය මලල ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බඳු වූ Milkha Singh කොරෝනා වයිරසය වැළදීම හේතුවෙන් පසුගිය දා ජීවිත පිටියෙන් සමුගත්තා. මිය යන විට ඔහු 91 වැනි වියේ පසු වූවා. ”පියාඹන සීක්වරයා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ Milkha Singh, නිදහස් ඉන්දියාවේ පළමු “සුපිරි ක්‍රීඩා තරුව” ලෙසින් ද හැඳින්වූවා. 

1959 වසරේ ඉන්දිය පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබූ Milkha දක්ෂ කෙටි දුර ධාවකයෙක්, ඉන්දීය යුද හමුදා සාමාජිකයෙක් සහ පංජාබ් ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධක්ෂකවරයා ලෙසින් ද කාලයක් කටයුතු කර තිබුණා. 

ක්‍රීඩා දක්ෂතා

1958 වසර Milkhaගේ ක්‍රීඩා දිවියේ ස්වර්ණමය ඇරඹුම ලෙසින් හැඳින්විය හැකියි. ඒ එතෙක් දේශීය පිටියේ දක්ෂතා දැක් වූ Milkha ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටිය ද අතික්‍රමණය කළ නිසා. ඔහු එම වසරේ ජපානයේ පැවැති තෙවැනි ආසියානු තරගාවලියේ දී මීටර් 200 සහ මීටර් 400 ඉසව්වල රන් පදක්කම් දිනා ගන්නවා. එම ජයග්‍රහණ ද්විත්වය Milkha විසින් ඉන්දියාවට ලබා දුන් පළමු ජාත්‍යන්තර පදක්කම් දෙකයි. 

ඊට මාසයකට පමණ පසු වේල්සයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී යාර 440 රන් පදක්කම දිනා ගැනීමට ද Milkha සමත් වෙනවා. එය ඉන්දීය ක්‍රීඩකයෙක් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක දී දිනූ පළමු පදක්කමයි. 

අනතුරුව 1962 වසරේ ජාකර්තා හි පැවැති සිව්වැනි ආසියානු තරගාවලියේ දී ද ඔහු මීටර් 400 සහ මීටර් 4×400 සහාය දිවීමේ ඉසව්වෙන් ද නැවත වතාවක් රන් පදක්කම්ලාභියෙක් බවට පත් වෙනවා. 

විදෙස් මලල ක්‍රීඩා පදක්කම් ගෙල පැලඳීමට පෙර Milkha වසර කිහිපයක් තිස්සේ ඉන්දීය මලල ක්‍රීඩා පිටියට තම ජවය එක් කළා. මේ හේතුවෙන් ම අවස්ථා ගණනාවක දී ජාත්‍යන්තර තරග සංචාර සඳහා ද ඔහු සුදුසුකම් ලැබුවා. ඒ අනුව ඔහු 1956 වසරේ මෙල්බර්න් හී පැවැති ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වෙනවා. නමුත් එහි  දී සුබදායක ප්‍රතිඵල නෙලා ගැනීමට ඔහු සමත් වෙන්නේ නැහැ. 

මේ අතර නැවත නැවතත් දේශීය පිටියේ දක්ෂතා දක්වන Milkha 1958 පැවති ඉන්දීය මලල ක්‍රීඩා උළෙලේ දී මීටර් 200 සහ 400 ඉසව්වලින් රන් පදක්කම් දිනා ගන්නවා. එය ඔහු එම ක්‍රීඩා උළෙලේ දී එවන් දක්ෂතාවක් කළ පළමු අවස්ථාවයි. 

මේ වෙද්දී ඉතා හොඳ දක්ෂතා අතර සිටි Milkha නැවත වතාවක් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා. ඒ අනුව ඔහු 1960 රෝමයේ පැවැති ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වෙනවා. එහි මීටර් 400 කේවල ඉසව්වේ දී ඔහු සිව්වැනි ස්ථානය දිනා ගන්නේ තෙවැනියාට වඩා ඇසිපිල්ලන් ගසන පමාවකින් තරගය නිමා කළ නිසා. මේ තියුණු තරග නිමාව ඔහුගේ නම ඉන්දීය ඉතිහාසය බබළවන්නක් බවට පත් වුනා. 

එදා තරග නිමාව ඉන්දියාව තුළ Milkha වීරයෙක් බවට පත් වෙද්දී, තරගයේ අවසානය සම්බන්ධයෙන් ලැබූ විනිසුරු තීරණය අදටත් ඉන්දීය ජාතිකයන් තුළ පවතින්නේ නොපහන් තත්ත්වයක්. ඒ එතැන කුමක් හෝ අසාධාරණයක් තම ක්‍රීඩකයාට වූ බැව් පවතින මතයයි. කෙසේ වෙතත් එදා Milkha වාර්තා කළ කාලය වූ තත්පර 45.73ක කාලය වසර 40ක් පුරා ඉන්දීය ජාතික වාර්තාව සේ පැවතියා. 

අනතුරුව Milkha 1964 ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළෙල ද නියෝජනය කළා. 

බෙදුම්වාදී යුද්ධයේ බිල්ලක් වීම

මේ සා සුවිශේෂී අතීතයක්, ගෞරවයක් හිමි වූ Milkhaගේ ළදරු විය සහ ළමා විය එතරම් ම සුන්දර නැහැ. ඔහු 1929 වසරේ උපත ලබන්නේ වරින් වර ඇවිලෙමින් පැවැති ඉන්දු – පාකිස්තාන දේශ සීමා යුද්ධයට මැදිවයි. ළදරු වියේදීත්, ළමා වියේදීත් එහි වෙනසක් නැහැ. මේ බෙදුම්වාදී යුද්ධය Milkhaගේ පවුලේ සාමාජිකයන් සී-සීකඩ විසුරුවනවා.

15 දෙනෙක්ගෙන් යුත් පවුලේ 8 දෙනෙක් වරින් වර යුද්ධයට බිලි වෙනවා. ඊට පසුව එක්තරා මූසල දිනයක දී අම්මාත්, තාත්තාත්, සහෝදරයෙක් සහ සහෝදරියක් තමන්ගේ දෑස් ඉදිරියේ ම ඝාතනය වෙනු බලා සිටීමට Milkhaට සිදු වෙනවා. නීතියක් නැති තැන සාක්ෂියක් ලබා දෙන්නේ කාටද? තම දෑස් ඉදිරිපිට මියැදෙමින් සිටි පියාගේ අවසන් ඉල්ලීම වූයේ “Bhaag Milkha Bhaag” (දුවන්න මිල්කා දුවන්න). මරණයේ වේදනාවත්, දරු සෙනෙහසත් ඒ මලානික දෑස්වල තිබෙන්නට ඇති. 

Milkha තම වැඩිමල් සහෝදරියක් සමඟ එතෙක් තමන්ට ජීවය දුන් ගමෙන් පළා යන්නට තීරණය කරන්නේ ඒ නිමේෂයේ දී. ඔහු ගත් තීරණයකටත් වඩා එය, තම වැඩිමහල් සහෝදරිය ගත් තීරණයක්. දුම්රියෙන් යන ඒ ගමනේ දී ඔවුන්ට ප්‍රවේශපත්‍රයක් පවා ගැනීමට මුදල් තිබී නැහැ. හොරට ගිය ඒ ගමනේ අවසාන නවාතැන වන්නේ බන්ධනාගාරය. 

එතැනින් අනාථ නිවාස. එකින් එක මාරු වූ අනාථ නිවාසවල දී Milkhaට යුද්ධයට නොදෙවෙනි අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වෙනවා. වැඩි වශයෙන් ම සිදු වෙන මැරකම්, දාමරිකකම්, වංචාවන් සමඟයි ඔහුගේ ගමන ගත කරන්නට වෙන්නේ. 

මේ අතර තාවකාලික නවාතැනක් වූ යුද හමුදා අනාථ නිවාසයක දී Milkhaගේ ජීවිතය වෙනස් වෙනවා. නිසි අධ්‍යාපනයක් හෝ නොලද Milkha යුද්ධයේ බිල්ලක් බවට පත් වීමට හොඳට ම අවකාශ තිබිය දී ඔහු අති ගෞරවනීය යුද සෙබළෙක් බවට පත්වෙනවා. එතැනින් රටක් ආදරය කරන මලල ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා.

එදා Milkhaගේ ගම්මානය අද පාලනය කරන්නේ පාකිස්තානය. 

The Race of My Life

මියැදෙමින් සිටි පියාගේ ඉල්ලීම මත තම ජීවිතය බේරා ගැනීමට දුවන්නට ගත් Milkha මේ තරම් දුරක් ගෙවා දමනු ඇතැයි එදා කිසිවෙක් සිතන්නට නැත. එදා අනාථයෙක් ලෙසින් ඉන්දියාවට ඇතුල් වූ Milkha Singh මලල ක්‍රීඩාවෙන් රටක් දිනා ගත්තා පමණක් නොව විවිධ ක්ෂේත්‍රයන් හී කතා බවට ද ලක් වූ චරිතයක් බවට පත් වුණා.

Milkhaගේ දියණියක් වූ Sonia Sanwalka විසින් 2013 දී රචිත The Race of My Life නමැති Milkhaගේ ජීවිත කතාව ඇතුළත් කෘතිය අතිශය ජනාදරයට පත් වුනා. එමෙන් ම එම කතාව පාදක කර ගනිමින් එම වසරේ ම නිෂ්පාදිත Bhaag Milkha Bhaag නැමැති චිත්‍රපටය ද නොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වුනා. එම චිත්‍රපටයට එම වසරේ ජනප්‍රිය ම චිත්‍රපටය ඇතුළු සම්මාන 5ක් International Indian Film Academy Awards 2014 සම්මාන උළෙලේ දී දිනා ගැනීමට සමත් වෙනවා. 

එමෙන් ම Milkha 1997 වසරේ දී ලෝක ප්‍රසිද්ධ Sports Star සඟරාව මගින් සංවිධානය කරන ‘Legend of Indian Sport’ සම්මානයෙන් ද පිදුම් ලැබීමට සමත් වූවා. 

දිවි ගමනේ අවසානය

Milkha, තම ජීවිතයේ සැඳෑ සමය මනරම් මතකයන් සමඟින් ජීවත් වූ බැව් ඔහුගේ පුත් Jeev Milkha Singh මාධ්‍ය වෙත පවසා තිබුණා. ඔහුත් සමඟ බිරිඳ Nirmal Saini ද එහි විසුවා. Nirmal වරෙක ශ්‍රී ලංකාවට (එවකට Ceylon) එරෙහි ඉන්දීය කාන්තා වොලිබෝල් කණ්ඩායමේ නායිකාව ලෙසින් ද කටයුතු කළා. දීර්ඝ කාලීන පෙම් පළහිලව්වක ප්‍රතිඵලයක හේතුවෙන් එකතු වූ ඔවුන්ගේ පවුලේ දියණියන් තිදෙනෙක් සහ පුතෙකුගෙන් යුක්තයි. 

පියා මෙන් ම පුතා ද ඉන්දීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණු තැබූවන් සේ සැලකෙනවා.  පුතා Jeev Milkha Singh ලෝක ප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩකයෙක් වන අතර යුරෝපීය, ජපන්, ආසියානු සහ තවත් ජාත්‍යන්තර තරග ජයග්‍රහණ සමඟින් ජාත්‍යන්තර  තරග 20ක් දිනූවෙක් ලෙසින් ඉතිහාස ගතයි. පියා මෙන් ම ඔහු ද ඉන්දීය රජය මගින් ප්‍රදානය කරන පද්ම ශ්‍රී සම්මානයෙන් මෙන් ම අර්ජුන් සම්මානයෙන් ද පිදුම් ලැබීමට සමත් වූවා. 

Milkha ජීවිතය හැර යෑමට මාසයකට පමණ පෙර සිට, සිට ඇත්තේ අසනීප තත්ත්වයෙන්. ඒ ඇතුළත තම ආදරණීය බිරිඳ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යෑම ඔහුගේ සමුගැනීම ද ඉක්මන් කළා විය හැකියි. තම බිරිඳගේ වියෝවෙන් දින 5කට පසුව Milkha ද කොරෝනා ආසාදිතයෙක් ලෙසින් ම තම දිවි ගමන නිමා කළත් ඔහුගේ මතකය ඉන්දියානු ක්‍රීඩාලෝලීන් අතර සදානුස්මරණීය වනු ඇත.  

ඡායාරූප – අන්තර්ජාලය ඇසුරෙනි

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<