ICC වසරේ T20 කණ්ඩායමට මෙරටිනුත් ක්‍රීඩිකාවක්!

214

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කළ වසරේ කාන්තා විස්සයි විස්ස කණ්ඩායම සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ඉනෝකා රණවීරගේ නමත් ඇතුළත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අත්දැකීම් බහුල වමත් දඟපන්දු යවන ක්‍රීඩිකාවක් වන ඉනෝකා රණවීර පසුගිය වසරේ පන්දුවෙන් දැක්වූ කැපී පෙනෙන දස්කම් නිසා ඇයව මෙම කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

එම වසර තුළ විස්සයි විස්ස තරග 19ක් නියෝජනය කළ ඇය පන්දුවාරකයට 5.75ක ලකුණු වේගයක් සහ 13.85ක සාමාන්‍යයක් සමඟ කඩුලු 27ක් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

ඇය ඉනිමක කඩුලු 3කට හෝ ඊට වැඩියෙන් ලබා ගත් තරග හතරක් ද, එම තරග 19ට ඇතුළත් වූ අතර 2022 කාන්තා ආසියානු කුසලානයේ බංග්ලාදේශයට එරෙහිව ලකුණු 7කට කඩුලු 4ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ද ඇය සමත් වුනා.

එමෙන්ම ඇයගේ එම සුපිරි දස්කම් නිසා බංග්ලාදේශයට එරෙහිව ලකුණු තුනක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

මෙම කණ්ඩායම සඳහා ඉනෝකාට අමතරව ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් හතර දෙනෙක්, ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් තුන දෙනෙක්, එංගලන්තය, නවසීලන්තය සහ පාකිස්තානය නියෝජනය කරමින් එක් ක්‍රීඩිකාව බැගින් ඇතුළත්.

මෙම වසරේ කණ්ඩායමේ නායකත්වය නවසීලන්ත ක්‍රීඩිකා Sophie Devine හට හිමිව තිබෙනවා.

  • ICC නම් කළ 2022 වසරේ කාන්තා විස්සයි විස්ස කණ්ඩායම: Sophie Devine (c) (නවසීලන්තය), Smriti Mandhana (ඉන්දියාව), ඉනෝකා රණවීර (ශ්‍රී ලංකාව), Beth Mooney (ඕස්ට්‍රේලියාව), Ash Gardner (ඕස්ට්‍රේලියාව), Tahila McGrath (ඕස්ට්‍රේලියාව), Nida Dar (පාකිස්තානය), Deepti Sharma (ඉන්දියාව) Richa Ghosh (ඉන්දියාව), Sophie Ecclestone (එංගලන්තය), Renuka Singh (ඉන්දියාව).

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<