තැනේ හැටියට ඇණේ ගැසූ ආනෝල්ඩ්

1015
Street Smart Russel Arnold

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය යුගය ලියැවෙන්නේ ’90 දශකයේ අගභාගයත්, නව සහස්‍රයේ මුල් අවුරුදු කිහිපයත් තුල දී ය. “ස්වර්ණමය යුගය” යැයි කියන විට ඊට පදනම් වන්නේ ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යන්තර දස්කම් පමණක්ම නොවේ.

ජයග්‍රහණය සඳහා සැබෑ උවමනාවක් ඇති පරිපාලකයන්, ශක්තිමත් නායකයන්, නායකයන් වටා සිට ඕනෑම අභියෝගයක් භාර ගැනීමට සූදානම් ඉහළ ජයග්‍රහණ ප්‍රතිශතයක් සහිත ලෝක ශූර කණ්ඩායම්, ජාත්‍යන්තර ක්‍රීඩකයින් පිටුපසින් ඔවුන්ගේ ස්ථානවලට අභියෝග කරන දේශීය ක්‍රිකට් පිටියේ සම දක්ෂයන්, ක්‍රිකට් බුද්ධිය ඇති බහුතර ප්‍රේක්ෂකයන්, ප්‍රයෝජනවත් විවේචන කරන මාධ්‍යවේදීන් යන මේ සියල්ලම “ස්වර්ණමය යුගයක” ලක්ෂණය.වැඩියෙන් වැඩ කළ, අඩුවෙන් කතා බහ වන ක්‍රීඩකයින්” ගැන සිහි කරන ගමනේ දෙවැනි පියවරයි මේ.

මැච් දිනවන චන්දන

සංඛ්‍යා දත්තවලින් වැඩ පෙන්වීමට වඩා ක්‍රිකට් තරග දිනවීම යනු අපහසු කරුණකි. ක්‍රිකට් ක්‍රීඩාවේ..

ඔහු මුලින්ම මා නෙත ගැටෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි ස්වර්ණමය යුගයේ දී ය. එනම් 1997 පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී ය. ඒ එවකට වයස අවුරුදු 9ක් වූ මා දේශීය ක්‍රිකට් පිටිය ගැන එතරම් දුරට දැන නොසිටි නිසාවෙනි. එහෙත් පිතිකරණයේ දී පිත්ත අසාමාන්‍ය ආකාරයකට ඔසවා ගෙන සිටි මේ කෙසඟ පිතිකරුවාව කුඩා මා මනසේ තැන්පත් විය.

රසල් ආනෝල්ඩ් නම් වූ කෙසඟ පිතිකරුවා.

ඉනිම් දෙකේ දී ඔහුට එකිනෙකට වෙනස් ආරම්භක පිතිකරණ සගයන් දෙදෙනෙකු හමු විය. ඒ පළමු ඉනිමේ දී සනත් ජයසූරිය සහ දෙවැනි ඉනිමේ දී මාවන් අතපත්තු ලෙසිනි. 

වසීම් අක්‍රම් හෝ වකාර් යුනුස් ක්‍රීඩා නොකළ එම තරගයේ දී මොහොමඩ් සහීඩ් නම් වූ අධි වේගපන්දු යවන්නා ඉදිරියේ ප්‍රවේසමෙන් ක්‍රීඩා කළ ඔහු, පළමු ඉනිමේ දී ප්‍රතිවාදී ජ්‍යෙෂ්ඨ දඟපන්දු යවන්නා වූ මුෂ්ටාක් අහමඩ් හමුවේ දැවී ගිය අතර දෙවැනි ඉනිමේ දී ප්‍රතිවාදී තරුණ දඟපන්දු යවන්නා වූ සක්ලේන් මුෂ්ටාක් හමුවේ දැවී ගියේය. තරගය පුරාවටම ඔහු ලබා ගත්තේ ලකුණු 39ක් පමණි. එහෙත් තරගයේ දී ඔහු විශේෂ දක්ෂතාවයක් දැක්විය.

ඒ ලකුණු 58ක් ලබා සිටි පාකිස්තාන අග පෙළ පිතිකරු සක්ලේන් මුෂ්ටාක්ව දුවද්දී දවා ගැනීමට පන්දුව කෙළින්ම කඩුල්ල වෙත එල්ල කිරීමෙනි. එදා “වෙල්ඩන් රසී බෝයි!” යනුවෙන් රොමේෂ් කලුවිතාරණ ඔහුව දිරිගන්වනු කඩුල්ලේ මයික්‍රොෆෝනයෙන් ඇසුණු බව මාගේ මතකයේ ඇත. “රසී බෝයි” ලෙස පටන් ගෙන “ආනි” ලෙස අවසන් වූ දැවැන්ත පිතිකරණ පෞරුෂයක් ලෙස මම ඔහුව හඳුන්වමි. “දැවැන්ත පෞරුෂයක්” යන්න ගැන ගැටලුවක් ඇත් ද? හොඳයි, අපි කියවමු. මේ අප ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ අංක 6 විශිෂ්ටයෙකු ගැන කරන සොයා බැලීමයි.

අංක 69″. මෙය ශ්‍රී ලාංකික අංක 6 පිතිකරුගේ නිල අංකය බවට පත්කළේ ඔහු ය. ඇන්ජලෝ මැතිව්ස් නම් සවිමත් පිතිකරුවා සහ තරග අවසන් කරන්නාට පෙර එම කාර්යභාරය අයත්ව තිබුණේ ඔහුටයි. එහෙත් ඒ සියල්ලට පෙර රසල් ආනෝල්ඩ් හට ලැබී තිබුණේ ආරම්භක පිතිකරුවාගේ ස්ථානයයි. ඒ සනත් ජයසූරිය, මාවන් අතපත්තු, රොමේෂ් කලුවිතාරණ, රොෂාන් මහානාම, චන්දික හතුරුසිංහ වැනි ආරම්භක පිතිකරුවන් සංචිතය තුළ සිටියදීමයි. 

කෙසේ වෙතත් මාවන් අතපත්තු ආරම්භක පිතිකරු වීමේ සුහද සටන ජය ගත් අතර ආනෝල්ඩ්, පිතිකරණ ලැයිස්තුවේ විවිධ ස්ථාන කරා ඉහළ පහළ යමින් අස්ථාවර තත්වයක සිටියේය. ඔහුගේ පළමු එක්දින ඉනිම් දහය තුල දී පමණක් ඔහු ස්ථාන 5ක පිතිකරණයේ යෙදී තිබුණි. ඒවායින් අංක 3 පිතිකරු ලෙස ලද අවස්ථාවන් වලදී ඔහු යම් සාර්ථකත්වයක් පෙන්වීය.

අද වන විටත් අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කළ එක්දින ඉනිම් 5ක දී ඔහුගේ ලකුණු සාමාන්‍යය 40.25කි. එසේ සාර්ථක වූ ඔහුව අංක 6 දක්වා පහළට තල්ලු කෙරිණි. එලෙස ආනෝල්ඩ් ලද පරාජය ශ්‍රී ලංකා ක්‍රිකට් හි ජයග්‍රහණයක් වූයේ, කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අදිටනින් පසු වූ මේ දමිළ ක්‍රිස්තියානුවා තමන්ට සිදු වූ සියලු අසාධාරණකම් ඉවසා සිටි නිසාවෙනි.

ශ්‍රී ලාංකික අංක 6 පිතිකරුගේ නිල අංකය.

ආනෝල්ඩ්ගේ දොළොස්වැනි එක්දින ඉනිමේ දී අංක 6 ස්ථානය දක්වා තල්ලු කෙරෙනු ලැබූ ඔහු එම ස්ථානය දෑතින්ම බදාගත්තේය. පාකිස්තානයට එරෙහිව පැවති එම තරගයේ දී ලකුණු 212ක් හඹා යා නොහැකිව ලකුණු 120කටත් අඩුවෙන් එල්ලී අසරණ වූ ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව තුළ නොදැවී ලකුණු 27ක් ලබා හිස ඔසවා ගෙන සිටියේ ආනෝල්ඩ් පමණි. එතැන් සිට ඔහුව අංක 5 වෙත උසස් කළ අතර ආනෝල්ඩ් විසින් මීළඟ ඉනිම් 5 දී වාර්තා කළ ලකුණු මෙසේයි.

56, 103, 37, 42*, 39…

මින් ඔහුගේ මංගල සහ එකම එක්දින ශතකය වාර්තා වූ ඉනිම (103) එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ඉනිමකි. 1999 සිම්බාබ්වේ සංචාරයේ දෙවැනි එක්දින තරගයේ දී ඔහු පිටියට පිවිසෙන විට ලකුණු තත්වය පන්දුවාර 11ක දී 49-3කි. ඉන්පසු ආනෝල්ඩ් එක් අන්තයක තනිකොට අනෙකුත් පිතිකරුවන් එකා පසුපස එකා ක්‍රීඩාගාරය වෙත හැරී යන්නට විය.

ලකුණු 103 දී කඩුලු 7ක් දැවී තිබුණි. එහි දී පිටියට පිවිසි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව රැකගනිමින් ඉනිම ගොඩනැගූ ආනෝල්ඩ් ලකුණු 57ක සබඳතාවයක් ගොඩනැගුවේය. ඉන් ලකුණු 38ක්ම ආනෝල්ඩ් විසින් ලබාගෙන තිබිය දී ප්‍රමෝද්‍ය ලකුණු 19කට දැවී යාමත් සමඟ නැවත සිම්බාබ්වේ කණ්ඩායම තරගයේ පාලනය සියතට ගත්තේය. ශ්‍රී ලංකාව 160-8යි.

ඉන්පසුව පිටියට පිවිසි මුත්තයියා මුරලිදරන් පන්දු 3ක් තුළ ලකුණු 2කට දැවී ගියේ අවසන් පිතිකරු සජීව ද සිල්වාට දැවී යාමට පන්දුවාර 7ක් (පන්දු 42ක්) ඉතිරි කරමිනි. එහෙත් තණතීරුව මත නොසැලී සිටි ආනෝල්ඩ්ගේ සැලසුම් ඊට ඉඳුරාම වෙනස් විය. ඉතිරි නීත්‍යානුකූල පන්දු 42න් ඔහු සජීවට පන්දුවට පහර දීමට ඉතිරි කළේ පන්දු 12ක් පමණි. ඉනිමේ අවසන් පන්දුව තෙක්ම තනිව සටන් කළ ආනෝල්ඩ් ලකුණු 103ක් ලබා අවසන් පන්දුවේ දී දැවී ගියේය.

ශ්‍රී ලංකාව ලකුණු 213ක් ලබා ගත් අතර ඔවුන් ලකුණු 13කින් තරගය ජය ගත්තේ සිම්බාබ්වේ කණ්ඩායම නිජබිමේ දී ම ලකුණු 200කට නවත්වා ගනිමිනි. “සිම්බාබ්වේත් මහ කජ්ජක් ද?”. ඔව්! ඇලිස්ටෙයාර් කැම්බෙල්, ග්‍රාන්ට් ෆ්ලවර්, ඇන්ඩි ෆ්ලවර්, මරේ ගුඩ්වින්, හෙන්රි ඔලොන්ගා, ගයි විටෝල්, ගැවින් රෙනී “මහ කජ්ජක් ය”. මේ ඔබ දැන් දකින සිම්බාබ්වේ කණ්ඩායම නොවේ. එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ කප් ගැසූ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් සිම්බාබ්වේ කණ්ඩායමයි.

තනිව සටන් කළ ආනෝල්ඩ්.(crictracker.com)

එතැන් පටන් ආනෝල්ඩ් අංක 5 ස්ථානයේ පිතිකරණයේ යෙදෙමින් ජයග්‍රහණය කර දුන් තරග ගණන බොහෝ ය. එකල අංක 5/6 පිතිකරුවන්, එනම් ඉනිම්/තරග අවසන් කරන්නන් ගැන ලෝකයම කතා කළ යුගයකි. ඕස්ට්‍රේලියාවේ මයිකල් බෙවන් එහි සැබෑ ප්‍රතිමූර්තියව සිටිය දී “ශ්‍රී ලංකාවේ බෙවන්” වූයේ ආනෝල්ඩ් ය. 

2000 වසරේ ෂාජා හිදී පැවති කොකා කෝලා ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී සනත් ජයසූරිය විසින් ලකුණු 189ක් වාර්තා කළ අවස්ථාවේ දී පවා අනෙක් අන්තය රැකගෙන ඔහුට සහාය වූයේ ආනෝල්ඩ් බව අප්‍රකට කරුණකි. ඔහු නොවන්නට, ලකුණු 116කට කඩුලු 4ක් දැවී තිබූ ඉනිම දියාරු වී සනත්ගේ අවස්ථාව දියාරු වන්නට තිබුණි. ඉනිමේ අවසානය දක්වා කඩුල්ලේ රැඳී සිටි ආනෝල්ඩ් පන්දු 62ක දී නොදැවී ලකුණු 52ක් රැස්කළේය.

ඔහුගේ සුවිශේෂී හැකියාව වූයේ අවසන් පිතිකරුවන් පස්දෙනා සමඟින්, ඔවුන්ව ආරක්ෂා කරගනිමින් ලකුණු රැස්කිරීමේ හැකියාවයි. විශේෂයෙන්ම ලකුණු හඹා යාමේ දී මෙන්ම පළමු ඉනිමේ දී ලකුණු රැස්කිරීමෙන් ද ඔහු එක ලෙස දස්කම් පෑවේය. 

පළමු ඉනිමේ පිතිකරණයේ යෙදෙමින් ලකුණු 33.68ක සාමාන්‍යයකුත්, ලකුණු හඹා යෑමේ දී ලකුණු 38.37ක සාමාන්‍යයකුත් ඔහු විසින් රඳවා ගෙන තිබුණි. එක් කලෙක ඔහුගේ එක්දින ලකුණු සාමාන්‍යය ලකුණු 40 ද ඉක්මවා තිබූ අතර අද වන විටත් එක්දින ලකුණු සාමාන්‍යය 40 ඉක්මවූ ශ්‍රී ලංකා පිතිකරුවන් සිටින්නේ දෙදෙනෙකු (කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්) පමණි. මුල් පෙළට පැමිණීමේ උවමනාවක් ද නොතිබූ ඔහු අංක 5 සහ 6 අතර අවස්ථානුකූලව දෝලනය වෙමින් එක්දින ක්‍රිකට් දිවිය අවසන් වන විට අංක 6 ස්ථානයේ ලකුණු 44.82ක සාමාන්‍යයක් රඳවා ගෙන සිටියේය.

අංක 6 පිතිකරුවෙකු සතු විය යුතු විශේෂත්වයක් වන “පීඩනය ඉවසීමේ හැකියාව” ගැන ඔහු ක්‍රීඩා කරන සමයේ දී එක්තරා රූපවාහිනී වැඩසටහනක දී ඔහුගෙන් විමසනු ලැබීය. “මම ආසයි ඒ වගේ සිටුඒෂන්ස් වලට”. ඔහු කීවේ එපමණකි. අද වන විට මයික්‍රොෆෝනයෙන් ලොවක් අමතන රසල් ආනෝල්ඩ් එකල වැඩ පෙන්වූයේ කටින් නොව පිත්තෙනි.

මම ආසයි ඒ වගේ සිටුඒෂන්ස් වලට

2001 නවසීලන්ත සංචාරයේ වෙලින්ටන්හි පැවති දෙවැනි එක්දින තරගයේ දී ශ්‍රී ලංකාවට ලකුණු 206ක ඉලක්කයක් හිමි විය. ලකුණු 82 දී කඩුලු 4ක් දැවී ගොස් තිබුණි. ආනෝල්ඩ් පිටියට පිවිසී පීඩනය දරාගෙන පන්දුවට පහර දෙන්නට විය. එහෙත් අනෙක් අන්තයෙන් ලැබුණු සහාය ප්‍රමාණවත් නොවීය. ලකුණු 191 දී හත්වැනි කඩුල්ලත් දැවී ගිය අතර අනෙක් අන්තයට පැමිණි නුවන් සොයිසා සමඟින් නොදැවී ලකුණු 78ක් ලබා ගත් ආනෝල්ඩ් ජයග්‍රාහීව තරගය අවසන් කළේය. අවසන් ලකුණු කිහිපය වේගයෙන් ලබා ගත්තේ සොයිසා ය. 

ආනෝල්ඩ් කිසි විටෙකත් අනෙක් අන්තයේ පිතිකරු හා තරග නොකළේය. 2004 දී ඕස්ට්‍රේලියානුවන් මෙරට සංචාරයක නිරත වූ අතර මන්දගාමී විකට්ටුවක් මත පැවති එහි පස්වැනි තරගය මීට කදිම උදාහරණයකි. 

ලකුණු 199ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 136කට කඩුලු 7ක් දැවී අසීරු අඩියක සිටියේය. ආනෝල්ඩ් කාලය ගනිමින් කඩුල්ලේ රැඳී සිටිය දී නුවන් සොයිසා පිටියට පිවිසි අතර ඔහුගේ පිත්ත මැදම පන්දු කිහිපයක් වදිනු දුටු ආනෝල්ඩ් කිසිදු කලබලයකින් තොරව සොයිසා හට සහාය විය. සොයිසා පන්දු 42 දී ලකුණු 47ක් වාර්තා කළේය. එහෙත් පීඩනය දරා ගත්තේ පන්දු 64 දී නොදැවී ලකුණු 23ක් ලබා ගත් ආනෝල්ඩ් ය. පහරට පහර එල්ල කරනවා වෙනුවට ඔහු ඉවසිලිවන්තව කඩුල්ලේ රැඳී සිටියේය.

වේගවත් තණතිලි මත ලකුණු රැස්කිරීමේ හැකියාව අතින් ඔහු බොහෝ පිතිකරුවන් ඉක්මවා සිටියේය. ඕස්ට්‍රේලියාවේ දී ක්‍රීඩා කළ එක්දින ඉනිම් 18ක දී ඔහුගේ ලකුණු සාමාන්‍යය 37.85කි. නවසීලන්ත තණතීරු මත ඔහුගේ එක්දින ලකුණු සාමාන්‍යය 50.4කි. දකුණු අප්‍රිකාවේ වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේ දී ලකුණු 50.5ක සාමාන්‍යයක්, නිව්ලන්ඩ්ස් හිදී ලකුණු 55ක සාමාන්‍යයක්, ඩයමන්ඩ් ඕවල් හිදී ලකුණු 50ක සාමාන්‍යයක්, බෆලෝ පාක්හිදී ලකුණු 40ක සාමාන්‍යයක් ඔහු සතුය.

අංක 6 ස්ථානයේ ක්‍රීඩා කළ ඉනිම් 59ක් තුළ ඔහු විසින් වාර්තා කොට ඇති අර්ධ ශතක ප්‍රමාණය 14කි. ඔහු ක්‍රීඩා කළ එක්දින තරග 180න් 99ක්ම ශ්‍රී ලංකාව විසින් ජය ගෙන ඇත. ඒ 99න් 25කදීම ආනෝල්ඩ් ලකුණු 35ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් තම පිතිකරණ දායකත්වය කණ්ඩායමට ලබා දී ඇත. ජයග්‍රහණය ලැබූ තරගවල දී ඔහුගේ පිතිකරණ සාමාන්‍යය 41.66කි. අංක 6 ස්ථානයේ ඔහු විසින් වාර්තා කළ ඉහළම ඉනිම නොදැවී වාර්තා කළ ජයග්‍රාහී ලකුණු 91කි. ඒ ඉනිම ගැන ද කතා නොකරම බැරිය.

ඔහුගේ පන්දු රැකීම ද වෙනත්ම ඉසව්වකි.

2001/2002 කොකා කෝලා කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයට ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී තරග වැදුණි. පළමු ඉනිමට නවසීලන්ත ක්‍රීඩකයින් ලකුණු 236ක් වාර්තා කළේය. ආනෝල්ඩ් විසින් කඩුලු දෙකක් ද දවා ගත්තේය. එහෙත් ආනෝල්ඩ්ගේ වැදගත්කම ශ්‍රී ලංකාවට දැනෙන්නේ ලකුණු 27කට කඩුලු 4ක් දැවී යන මොහොතේ දී ය. 

අර්බුදය හටගෙන තිබුණි. ආනෝල්ඩ්ගේ වේලාව පැමිණ තිබුණි. එතැන් සිට මාවන් අතපත්තු හා එක්වී ඉනිම ගොඩනැගූ ආනෝල්ඩ් ලකුණු 110ක සබඳතාවක් ගොඩනැගුවේය. එහි දී අතපත්තු දැවී ගිය අතර ලකුණු තත්වය පන්දුවාර 33.5ක දී ලකුණු 137-5කි.

සයවැනි කඩුල්ලට පිටියට පිවිසියේ එවකට නම ගිය ආධුනිකයෙකු වූ සුරේෂ් පෙරේරා ය. ලකුණු 100ක් ලබා ගැනීමට ඔවුන්ට ඉතිරිව තිබුණේ ආසන්න වශයෙන් පන්දුවාර 16කි. එහි දී සුරේෂ් පෙරේරා පන්දු 51ක දී විශිෂ්ට ලකුණු 56ක් ලබාගෙන ශ්‍රී ලංකාවේ ජය තහවුරු කළ ද, පන්දු 116ක් තුළ නොදැවී ඉනිම ස්ථාවර කළ රසල් ආනෝල්ඩ් නොදැවී ලකුණු 91ක් ලබා සිටියේ පිට පිට දෙවැනි ලකුණු ශතක සබඳතාවයටත් තම වෙහෙස මහන්සිය කැප කරමිනි. ලකුණු 103ක සබඳතාවයකින් ශ්‍රී ලංකාව ජය ලැබූ අතර තරගයේ වීරයා වූයේ රසල් ආනෝල්ඩ් ය.

එමෙන්ම ඉනිම මැද පන්දුවට පහර දීමේ දී අත්‍යාවශ්‍ය වන පහරවල් වන ස්වීප් පහර, පුල් පහර සහ ෆ්ලික් පහරවල් ඔහුගේ පිතිකරණය නැරඹූ බොහෝ දෙනාට මතක ඇතුවාට සැකයක් නැත. ඉවසීමෙන් කල් යල් බලා ඉනිම ආරම්භ කරන්නෙකු වුවද ඉනිම අවසන් කිරීමේ දී ඔහුගේ ගියරයන් මාරු වන වේගය ඉතා ඉක්මන් ය. එමෙන්ම පිටිය මැද දී කිසිවෙකුටවත් ශ්‍රී ලාංකේය අභිමානය පහත් කරන්නට ඉඩ නොදුන් ඔහු වචනයට වචනයෙන් පිළිතුරු දෙන කලාව දැන සිටියේ කුමාර් සංගක්කාරටත් පෙර සිටය.

2002 ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දියානු නායක සව්රව් ගංගුලි හා වාදයක පැටලීම ඊට කදිම උදාහරණයකි. අනිල් කුම්බ්ලේගේ පන්දුවකට ලේට් කට් පහරක් එල්ල කොට ඔහු තණතිල්ලේ අන්තරාදායක කලාපයට (Danger zone on the pitch) අඩි කිහිපයක් තැබුවේය. ඉන්දියානු නායකයා කුපිත වූයේ ඔවුන් දෙවනුව පන්දුවට පහර දිය යුතු වූ බැවින් තණතිල්ලේ පළුදු ඇති විය හැකි වූ බැවිනි. අපි ඒ වීඩියෝව නරඹා, ආනෝල්ඩ්ගේ පිළිතුර දැන ගනිමු.

රවිචන්ද්‍රන් අශ්වින් සමඟින් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ දෙමළ බසින් සිදු කළ සාකච්ඡාවක දී ඔහු පැවසුවේ “හරි, මට දැන් අවංක වෙන්න පුළුවන්. දැන් අවුරුදු 18ක්ම ගිහිල්ලනේ. මං අඩි දෙක තුනක් ගියා. හැමෝම එහෙම කරනවා. ගංගුලි ඇවිත් සද්දයක් දාලා මට තරවටු කළා.” යනුවෙනි.

ඉන්පසුව ආනෝල්ඩ් ගංගුලි හට ඇඟිල්ලක් ඔසවා යමක් කියනු අපි දුටිමු. ඒ කටකාර පිළිතුරක් විය යුතුය. එහෙත් ඒ ගැන ඔහු පැවසුවේ “ඒක සමච්චලයක් විතරයි” යනුවෙනි. වචනයෙන් පිළිතුරු දී නොනැවතුණු ඔහු ඉනිම අවසන් වන විට නොදැවී ලකුණු 56ක් ලබා සිටීමෙන් ඔහුගේ මානසික සවිමත්භාවය ප්‍රකට විය. ඇතැම් විට වත්මන් ජාත්‍යන්තර විස්තර විචාරක කුටිවල දී ඔබට ඇසෙන්නේත්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය තුල දී ඔබ දකින්නේත් ප්‍රතිවාදීන්ගේ අභියෝග හමුවේ රට වෙනුවෙන් ඔහුගේ ඒ නොසැලෙන බවයි.       

ශ්‍රී ලංකාවේ බෙවන්” වූ ආනෝල්ඩ් හට ටෙස්ට් ක්‍රීඩා දිවියේ දී මුහුණ දෙන්නට සිදු වූයේ ද බෙවන් මුහුණ දුන් සන්තෑසියටම ය. තම සිව්වැනි ටෙස්ට් ඉනිමේ දී ම මංගල අර්ධ ශතකය (50) පසු කළ ඔහු සිය අටවැනි ටෙස්ට් ඉනිමේ දී මංගල ශතකය ද (123) පසු කළේය. දීප්තිමත් ආරම්භයක් ලදුව ද පසුකාලීනව ඔහුගේ ටෙස්ට් පිතිකරණ දස්කම් එතරම් දැකිය නොහැකි විය.

2002 එංගලන්ත ටෙස්ට් සංචාරයේ දී නැවතත් ආරම්භක පිතිකරණ ස්ථානයට පත්වූ ඔහු තෙවැනි තරගයේ දී අර්ධ ශතකයක් (62) සහ ශතකයක් (109) වාර්තා කළ ද, මීළඟ ටෙස්ට් ඉනිම් 6හිදීම ලකුණු 10 සීමාවවත් පසු කළ නොහැකි වූ නිසා ටෙස්ට් පිටියට ආයුබෝවන් කීමට ඔහුට සිදු විය. එහෙත් එක්දින ක්‍රිකට් කරළිය තුල දී ඔහු ඕස්ට්‍රේලියාවේ බෙවන් මෙන්ම නොනවතින බලවේගයක් විය.

ඔහු සැඟවී ගිය, එහෙත් විශිෂ්ට එක්දින අංක 6 පිතිකරුවෙකු බව බොහෝ දෙනෙකුට රහසක් නොවේ. එහෙත් ආනෝල්ඩ්ගේ එක්දින ක්‍රිකට් දිවියේ ඔහු සතු වූ තවත් හැකියාවක් තිබුණි. ඒ සබඳතා බිඳ හෙලීමයි. එක්දින කඩුලු 40ක හිමිකරුවෙකු වන ඔහු ජයග්‍රහණය සඳහා අත්‍යාවශ්‍ය මැදපෙළ කඩුල්ලක් දෙකක් බිඳ දැමීමෙන් “පිතිකරුවෙකු” ලෙස පන්දු යවන්නන්ට ලබා දුන් සහාය ඉතා ප්‍රමාණවත් විය.  

ඔහුගේ පන්දු රැකීම ද වෙනත්ම ඉසව්වකි. එක්දින උඩපන්දු 48ක් රැකගෙන ඇති ආනෝල්ඩ් සුරක්ෂිත පන්දු රකින්නෙකි. එමෙන්ම පිතිකරු අසල පන්දු රැකීමේ වැඩි හැකියාවක් ඔහුට තිබූ අතර පන්දු රකින අතරතුර දී ද ඔහු තණතීරුව මත ඇවිද ගොස් පන්දු රැකි බව ඔහු විසින්ම පවසා තිබේ. ඒ පන්දු යවනන්නන්ට තවත් අයුරකින් සහාය වීම සඳහා ය. ජාත්‍යන්තර තරග බිම යනු ඔබට විවිධ ශක්තීන් තිබිය යුතු, ඒ සෑම ශක්තියක්ම අවස්ථානුකූලව යොදා ගත යුතු ස්ථානයකි. රසල් ආනෝල්ඩ් යනු ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ ශක්තිය අවශ්‍ය වූ සෑම විටකම රට වෙනුවෙන් පෙරමුණ ගත්තෙකි.

වගකීම ගන්න, ඔබේ කාර්යය කරන්න.” – රසල් ආනෝල්ඩ්.

එහෙත් මේ ශක්තිය ඔහුට ලැබුණේ කොයින්ද? ඔබට එතරම් විවර නොවූ ඉතිහාසයක් ද මීට ඈඳීමට මම අවසර පතමි.

ඊලාම් යුද්ධය අතරතුර යුධ බියෙන් ඇලළුණු යාපනය ප්‍රදේශයේ ගම්මානයක් විය. ඒ මානිපායි නම් ගමයි. යුධ බිය ඇති වීමට පෙර “යාපනයේ කොළඹ – 07″ ලෙස විරුදාවලිය ලැබූ මානිපායි ගම්මානය ව්‍යාපාරික අතින් ද, මූල්‍යමය අතින් ද, උගත් ප්‍රජාව අතින් ද සරු ගම්මානයක් විය. එහි 1800 වැනි සියවසේ දී පමණ ඇමරිකානුවන් විසින් ආරම්භ කොට තිබූ ක්‍රිස්තියානි දේවස්ථානයක් විය. ඒ දේවස්ථානය ඇසුරේ ගොඩ නැගුණු දමිළ ක්‍රිස්තියානුවන්ගේ ගෞරවනීය පෙළපතක් ද විය.

ඔවුන් මුළු මානිපායි ගම්මානයටම එළියක් විය. ගමේ සෑම පොදු කටයුත්තක දී ම පෙරමුණ ගත් ඔවුන්ට ගම හැරදා කොළඹ බලා එන්නට සිදු වන්නේ ’70 දශකයේ අගභාගයේ දී උතුරු පළාතේ ඇතිවූ අස්ථාවර දේශපාලනික පසුබිම නිසයි. පසුව ඇතිවූ යුධ ගින්නෙන් ඒ මුළු ගම්මානයම කඩා වැටුණි. යුද්ධය අවසන් වීමෙන් පසුව ඔවුන් නැවතත් තම කුඩා ගම්මානය දෙස බැලුවේය.

මේ වන විටත් ඒ කඩා වැටුණු ගම්මානය ගොඩනැංවීමට මා පෙර කියූ ගෞරවනීය පෙළපතේ සියලු දෙනාම කැපවෙමින් සිටියි. “ආනෝල්ඩ්” යනු ඔවුන්ගේ නමයි. ඔවුන් ඒ ගම්මානය ගොඩගන්නට කැපවන්නේ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉනිම් කඩා වැටුණු බොහෝ අවස්ථාවල දී එය ගොඩ නැගූ ආනෝල්ඩ් පරපුරේ බාල සොහොයුරා, “රසල් ප්‍රේමකුමාරන් ආනෝල්ඩ්” කළ සේම ය. අද වන විටත් ඔහු කඩා වැටුණු “ශ්‍රී ලංකා ක්‍රිකට්” වෙනුවෙන් ලොව වටා ගොස් තැනේ හැටියට ඇණ ගසමින් සිටියි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<