කාම්බෝජයෙන් ශ්‍රී ලංකාවට අනුකම්පා විරහිත ප්‍රහාරයක්

1238
SL v Cambodia
Photo Credits: Football Federation of Cambodia

දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ගෝල 4 – 0 ක දැවැන්ත ජයක් වාර්තා කරන්නට සත්කාරක කාම්බෝජය සමත් විය. දෙරට අතර පළමු සහ එකම ජාත්‍යන්තර සුහද පාපන්දු තරගය පැවැත්වූයේ කාම්බෝජයේ Phnon Penh හී දීයි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුපුරුදු රිද්මය සොයා කාම්බෝජයට

ක්‍රීඩාංගනය පිරී ඉතිරී යන තරමේ ප්‍රේක්ෂක සේනාවක් මධ්‍යයේ ආරම්භ වූ මේ තරගයේ පළමු මිනිත්තු දෙක නිමා වීමටත් පෙර පළමු ගෝලය වාර්තා කරන්නට කාම්බෝජය සමත් විය. ඒ සුභාෂ් මධුශාන්ගේ අනවශ්‍ය ක්‍රීඩා විලාශය හේතුවෙන් ලද නිදහස් පහරකින් චාන් වටනාකා යොමුකල පන්දුව සෝයි විසාල් තම හිසින් ගෝලය තුලට යොමු කිරීමත් සමඟයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආරක්ෂක පෙළ තර කිරීමට දැඩි වෙහෙසක් ගන්නා අතරතුර ක්‍රීඩාංගනයේ ආලෝක පද්ධතිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් තරගය මිනිත්තු 10කට අධික කාලයක් නවතා තබන්නට ද සිදු විය.

එම විරාමයෙන් පසුවද කාම්බෝජ ක්‍රීඩකයන්ගෙන් එල්ලවූ දැඩි අභියෝගයේ අඩුවක් දක්නට නොලැබුන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ නිදහස් පහරක් පහසුවෙන් වලක්වා ගත් කාම්බෝජ දැල් රකින්නා ශ්‍රී ලංකා ගෝල එකතුව 0 න් ඉහලට නොපැමිණීමට වග බලා ගන්නා ලදී.

පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු 4ක් ඉතිරිව තිබියදී චාන් වටනාකා එල්ල කල කොන් පහරක් විශිෂ්ට ලෙස තම හිසින් දැල තුළට යොමු කරන්නට තියෙරි චාන්තා සමත් විය.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම යම් සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ප්‍රතිවාදී ගෝල සීමාව වෙත පන්දුව ගෙන ගියද චලන චමීර ක්‍රීඩාංගනය හරහා එල්ල කල පන්දුවට කවිඳු ඉශාන් හිසින් එල්ල කල පහර ගෝල කණුවට එපිටින් ඇදී ගියේ පළමු අර්ධය තුල කාම්බෝජයට ගෝල 2ක වාසියක් ඉතිරි කරමින්.

පළමු අර්ධය : කාම්බෝජය 2 – 0 ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා කණ්ඩායම නවක ක්‍රීඩකයෙකු යොදා ගනිමින් සිදුකල ආදේශනයක් ද සමගින් දෙවන අර්ධය ආරම්භ කළද කාම්බෝජ අභියෝගයට පිළිතුරු සොයා ගැනීමට ඔවුන්ට හැකිවූ බවක් දක්නට නොලැබුණි.

69 වන මිනිත්තුවේදී ශ්‍රී ලංකා ගෝල රකින්නා විසින් ආවරණය කරන ලද පන්දුවකට නැවත පහරක් එල්ල කල කාම්බෝජ ආදේශක ක්‍රීඩක කියෝ සොක්පෙන් තම කණ්ඩායමේ 3 වන ගෝලයද වාර්තා කරන්නට සමත් විය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම තවත් යොවුන් ක්‍රීඩකයන් දෙදෙනෙක්හට ජාත්‍යන්තර තරග වරම් ලබා දුන් අතර තරගයේ නියමිත කාලය අවසන් වීමට මිනිත්තුවක් ඉතිරිව තිබියදී සොක්පෙන් තවත් පහරක් දැල තුලට යොමු කලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නපුරු සිහිනයක් බඳු තරගයේ ප්‍රතිඵලය ගෝල 4 – 0 ක් ලෙස සටහන් කරමිනුයි.

තරග ප්‍රතිඵලය : කාම්බෝජය 4 – 0 ශ්‍රී ලංකාව

ThePapare.com තරගයේ වීරයා – චාන් වටනාකා (කාම්බෝජය)

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට