ශ්‍රී ලංකාව ගැන උදම් ඇනූ සුදු සුමිතුරා ‘ටෝනි ග්‍රේග්’

861
Allsport/Getty Images

1997 ඉන්දියාවේ පැවති පෙප්සි නිදහස් කුසලානයේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර තරගය මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ දී. ආරම්භ කිරීමට පෙර විස්තර විචාරයේ යෙදී සිටියේ රවී ශාස්ත්‍රී සහ ටෝනි ග්‍රේග්ය. තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට මෙම තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යාවශ්‍ය කාරණාවක් වී තිබුණි.

“රවී, මම කැමතියි තරගාවලිය තවදුරටත් විවෘත වීමට ශ්‍රී ලංකාව අද තරගය ජය ගන්නවා නම්” ටෝනි ග්‍රේග් කටහඬ අවදි කළේය. 

“මම දන්නවා ටෝනි මෙහෙම නෙවෙයි තරගාවලිය කොහොම තිබුනත් ඔබ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනවාට කැමතියි කියා” රවී ශාස්ත්‍රී වහාම පිළිතුරු බැන්දේය.

සැබෑවකි, මයික්‍රෆෝනය අතට ගත් ඔහුට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කෙරෙහි අසීමිත බැඳීමක් තිබුණේය. ඒ දිනවල ඔහු බෙහෙවින් ආදරය කළ ලිට්ල් ශ්‍රී ලංකන්ස්ලා, තමන්ගේ සුදු ජාතික මිතුරා කනගාටුවට පත් කළ දවස් නම් අතේ ඇඟිලි ගණනකටත් වඩා අල්ප විය.

ඇන්තනී විලියම් ග්‍රේග් නම් දකුණු අප්‍රිකාවේ ඉපිද, එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී, ඕස්ට්‍රේලියාව ජීවිතය ගත කළ, ශ්‍රී ලාංකික අපට අමරණීය මතක රැසක් ඉතිරි කොට දිවි ගමනින් නික්ම ගිය සුදු ජාතික දැවැන්තයාගේ ජීවිතයේ මුල් සමය ගැන ඔබ නෑසූ කතාවයි මේ.

“මේ කියන සිද්ධිය වෙද්දී මට අවුරුදු හතක් විතර ඇති. එම වයසේ අනෙකුත් කුඩා දරුවන් මෙන් මටත් ගින්න, ගිණිකූරු සමග තිබුණේ විශාල සම්බන්ධයක්. නමුත් ඒ බැඳීම අප වාසය කළ නිවෙස ගිනිබත් කරන තැනකට යැවෙතැයි කියා නම් මම සිතුවේ නැහැ.

මගේ ඇඳ යට ගින්නක් ඇවිලවීමේ කුරිරු සිතිවිල්ල කෙසේ පහළ වූවා දැයි මම දන්නේ නැහැ. නමුත් මම එවැන්නක් කළා. 

අනූ ගණන්වල අපි, ක්‍රිකට් සහ සබ්සේ බඩා කිලාඩි!

අක්ෂේ කුමාර් රඟපෑ සබ්සේ කිලාඩි චිත්‍රපටය ඉන්දියාවේ …….

ගින්න මතට ජලය විසි කිරීමෙන් එය නිවා දැමිය හැකි බව මා දැන සිටියත් මා දැල්වූ ගින්න පාලනයෙන් මිදී පැතිරෙමින් තිබුණේ. 

මගේ පියා වහාම ක්‍රියාත්මක වී ගිනි නිවන භටයින් සමඟ එක්වී ගින්න පාලනය කළත් නිවසින් අඩක් ගිනිබත් වී තිබුණේ. මාත් මගේ සොයුරියත් ඉතාම භීතියට පත්ව නිවසින් පිටත තිබූ ඕක් ගසක් යටට වී නිවස තුළ සිදු වන සිදුවීම් මාලාව දැක ගනිමින් සිටියේ.

පසුදින උදෑසන මගේ පියාගෙන් ලැබුණ තරවටු කිරීම කෙතරම් දරුණු ද කියතහොත් මගේ ළමා කාලය පුරාවටම ගිනි සෙල්ලම්වලින් වැළකීමට මම ප්‍රවේසම් වුනා.

එංගලන්තයේ මෙන් නොව මා උපන් දකුණු අප්‍රිකාවේ වසරක පාසල් කාලය වාර හතරකට බෙදී තිබුණා. ඒ අනුව සෑම වසරක දී ම අනිවාර්යයෙන්ම පාසල් නිවාඩු හතරක් අපට ලැබුණා.

එය වසරේ ඉතාමත්ම විනෝදාත්මක කාලයක්. පාසල් නිවාඩුව ලැබුණ වහාම ක්‍රීඩාවේ යෙදීමට අප අමතක කළේ නැහැ.

පාසල් නිවාඩුවේ දී අපේ ක්‍රිකට් ක්‍රීඩාංගණය වූයේ නිවසක බැල්කනියක්. ටෙනිස් පන්දුවත්, ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයත් අපට නුහුරු දෙයක් වූයේ නැහැ. පිත්ත ලෙසින් භාවිත වුනේ කඩුලු ඉන්නක්. 

එලෙස දිනය ආරම්භයේ දීම  පටන් ගන්නා අපේ ක්‍රීඩාව වරු ගණන් දිගට ඇදී ගියා.”

දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ ටෝනි ක්‍රීඩාවට විශාල ළැදියාවක් දැක්වූ සිය පවුලෙන් ලැබුණේ මනා පිටිවහලකි. එමෙන්ම ස්කොට්ලන්තයේ උපන් සිය පියා, සැන්ඩි නිසා ඔහුට ලැබුණ තවත් දායාදයක් විය. එනම් මහා බ්‍රිතාන්‍යය හා ඍජුව සම්බන්ධ වීමට ලැබුණා වූ සුදුසුකමයි.

“මට එම අවධියේ දුම්බීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තිබුණා. අත්හරින්නට කෙතරම් උත්සහ කළත් එය මා පසුපසම පැමිණියා.

මම පාසල් ඉගනීමේ කටයුතුවල දී එතරම් උසස් දස්කම් නොදක්වන බව මගේ පියාගේ මතය වුනා. සැබැවින්ම මට සෑහෙන අපහසුතාවයක් දැනුණ විෂයක් ලෙසට අප්‍රිකාන්ස් භාෂාව හඳුන්වන්න පුළුවන්. ඉංග්‍රීසි බස කතා කරන පරිසරයක හැදී වැඩුණු මට අප්‍රිකාන්ස් බස ප්‍රගුණ කිරීම අපහසු නමුත් එය මගේ පියා කිසිම ලෙසකින් විශ්වාස කළේ නැහැ.

එක් පාසල් නිවාඩුවක දී අප්‍රිකාන්ස් ගොවිපොළකට මා පිටත් කිරීමට මගේ පියා කටයුතු කළේ ඒ නිසායි. නිවාඩුව සතුටින් ගත කිරීම කෙසේ වෙතත් මගේ අප්‍රිකාන්ස් බස හැසිරවීම සෑහෙන දියුණු වූ බව නම් කියන්නට උවමනායි.

මට වඩා අවුරුදු නමයක් වයසින් අඩු, ඉයන් මගේ බාල සොයුරාත් ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාම ළැදි අයෙක් වුනා.

එක්වරක් මගේ සම වයසේ ක්‍රීඩකයෙකු මා යොමු කරන පන්දු වේගවත් බවින් වැඩි යැයි නිතර චෝදනා කළා. වයස යාන්තම් අවුරුදු පහක් වූ ඉයන් එවෙලේ පන්දු රකිමින් සිටියේ. 

මම ඉයන්ට අණ කළා පා ආවරණ පැලඳ ගෙන පන්දුවට පහර දීමට වහාම සූදානම් වන ලෙස. 

මං උපරිම රිද්මයෙන් දිවවිත් ඉතාම වේගයෙන් පන්දුව යොමු කළත් ඉයන් ඉතාම පහසුවෙන් එම පන්දුවට මුහුණ දුන්නා. 

කුඩා කාලයේ ගෙවත්තේ ක්‍රීඩා කළ සෑම ටෙස්ට් තරගයක දී ම මගේ මිත්‍රයින්ට උවමනා වුනේ දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කිරීමට. නමුත් එංගලන්තය නියෝජනය කිරීම මට කිසිම විටෙක ප්‍රශ්නයක් වුනේ නෑ. කිසිමදාක ක්‍රීඩා කරනවා දැක නැති වුනත් මගේ වීරයන් වුනේ කෙන් බැරිංටන්, කොලින් කවුඩ්රි, පීටර් මේ, ටෙඩ් ටෙක්ස්ටර් වැනි අය.

‘දාදා’ නම් කල්කටාවේ කුමරාගේ ක්‍රිකට් ආගමනය

1996 වසරේ මාර්තුවේ යම් දිනක කල්කටාවේ ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩා ……….

මගේ පියා ඉතාම නීතිගරුක තැනැත්තෙක්. නමුත් ඔහු සතුව යම් අඩුපාඩුවක් තිබුණා. ඔහු තරමක් දුරට බීමතට ඇබ්බැහි වී සිටියා. කිසිම විටෙක ඔහුගෙන් මගේ ක්‍රීඩාව ගැන හොඳක් අහගන්න ලැබුණේ නම් නැහැ. ලකුණු සීයක් රැස් කළත්, බිංදුවට දැවී ගියත් ඔහු කුමක් හෝ වැරැද්දක් හොයාගත්තා. ක්වීන්ටවුන්’හි මගේ පාසල් තරග නැරඹීමට හැකි සෑමවිටම ඔහු පැමිණ සිටියා.

පාසල් තරගවල දී සෑමවිටම මට තරග දිනවන්නෙක් යන ලෙස ලේබලය ඇලවී තිබුණා. පන්දුවෙන් හෝ පිත්තෙන් සැලකිය යුතු යමක් කිරීමට සෑමවිටම මට හැකියාවක් ලැබුණා. දකුණු අප්‍රිකාවේ බෝඩර් කණ්ඩායම සමඟ ඒ වන විට මගේ ක්‍රිකට් ගමන තවත් ශක්තිමත් වී තිබුණේ.

පාසලෙන් නික්මෙන සමයේ මා හමුදා සේවයට ඇයදුම් කළත් එය ප්‍රතික්ෂේප වී තිබුණා. ප්‍රතික්ෂේප වීමට කිසිදු හේතුවක් ඔවුන් දන්වා සිටියේ නැහැ. ප්‍රථම වතාවට එංගලන්තයට ගොස් ක්‍රීඩා කිරීමේ ආශාවක් මට ඇති වූයේ හමුදා සේවයෙන් ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුවයි.

මගේ ක්‍රිකට් පුහුණුකරු ලෙසින් කටයුතු කළ මයික් බස්, එංගලන්තයේ සසෙක්ස් කණ්ඩායමෙන් එළඹෙන තරග සමය වෙනුවෙන් මා සහභාගී කරගන්නට හැකියාවක් තිබේ දැයි ලිපියක් මගින් විමසන්නේ මේ අතර කාලයේ දී.

සති කිහිපයක කාලයක් ගතවී මගේ ඉල්ලීමට පිළිතුරක් ලැබී තිබුණා. ඉන් කියවුණේ මගේ පාසල් ක්‍රීඩාව ගැන ඔවුන්ගේ විශාල පැහැදීමක් නොමැති බවත් මගේ වියදම් මටම පියවා ගැනීමට හැකියාවක් ඇත්නම් අවස්ථාවක් ලබා දිය හැකි බවක්.

ඇත්තටම එංගලන්තයට ගොස් මගේ ක්‍රිකට් වියදම් දරා ගැනීමට මට හෝ මගේ මව්පියන්ට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් පවුලේ කිට්ටු හිතවතෙකු ඒ වියදම් සියල්ල භාර ගැනීමට ක්‍රියා කළා. එය මා ලද විශාල භාග්‍යයක්.

මේ සියල්ලටම වඩා වැදගත් කාරණාව මගේ පියා එංගලන්තයට යන ගමනට කැමැත්තක් දැක්වීම. සෑමවිටම ඔහු මා පරිණත නොවූ අයෙකු ලෙසින් සලකන්නට පුරුදු වී සිටීම මා කනස්සල්ලට ලක් කළ වාර අනන්තයි. 

හැටේ දශකයේ මැද වසරක මාර්තුවේ සදම්ප්ටන් හරහා එංගලන්තයට ගොඩ බට දිනය මට කිසිමදාක අමතක නෑ. 

හිතුවක්කාර ඉන්දියානුවා ‘විරු පාජී’

පාසල් ගොස් පැමිණි දිල්ලියේ කුඩා දරුවෙකු සිය පාසල් බෑගය ……….

එංගලන්තයට ගිය වහාම ලෝඩ්ස් ක්‍රීඩාංගණය නැරඹීමේ දැඩි ආශාවක් මට ඇති වුනා. මගේ අවස්ථාව උදා වූ විට මා දැඩි උද්‍යෝගයකට පත්ව සිටියේ. ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ හතර සීමාව අසල වැටෙන් පැන ක්‍රීඩා පිටිය මැදට යන අතරවාරයේ දකුණු අප්‍රිකාවේ සිටින මගේ දෙමාපියන්ට යැවීමට තණපත් කිහිපයක් ගලවා ගන්නටත් මම අමතක කළේ නැහැ.

එදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ඓතිහාසික වටිනාකමින් මත්ව සිටි මට කෙදිනක හෝ මේ ක්‍රීඩාංගණයේ දී ම ඕස්ට්‍රේලියානු කණ්ඩායමකට එරෙහිව එංගලන්තයට නායකත්වය දීමේ කුඩා හෝ සිහිනයක් නොතිබුණ බව නම් කිව යුතුමයි.”

සසෙක්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන්නට එංගලන්තයට ගිය ටෝනි ග්‍රේග් නම් යෞවනයාට සාම්ප්‍රදායික සසෙක්ස් ක්‍රීඩකයින්ගෙන් සහ දිරිගන්වන්නන්ගෙන් ලැබුණ පිළිගැනීම නම් එතරම් සුහද වූයේ නැත. නමුත් පිත්තෙන් හා පන්දුවෙන් ඊට පිළිතුරු දුන් ටෝනි එංගලන්තය නියෝජනය කළා පමණක් නොව පසුකලෙක එංගලන්ත කණ්ඩායම මෙහෙය වීමේ වරම ද දිනා ගත්තේය.

ටෝනි ග්‍රේග්ගේ ස්වයංචරිතාපදානය ඇසුරෙන් ලියන ලද්දකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<