සහෝදරයින්ගේ සටනේ දී දෙපිළේම ක්‍රීඩකයින් උද්වේගකර සටනක

593
march madness

ජාත්‍යන්තර ජය ගත් ක්‍රිකට් තරු බිහි කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට කැප වුනු පාසල් දෙකක් වන කොළඹ ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය  අද 2017 පාසල් මහා ක්‍රිකට් තරග වාරයට ආරම්භය තැබීය. බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම සහෝදරයින්ගේ ක්‍රිකට් සටනේ 54 වැනි අදියර වෙනුවෙන් අද (24) විද්‍යාල දෙක එකිනෙකා මුණ ගැසුණේ කොළඹ SSC පිටියේදීයි.

මහා ක්‍රිකට් කරළියේ තිරය අරින්නට ‘සහෝදරයන්’ සූදානම්

2017 පාසල් මහා ක්‍රිකට් තරග සඳහා වේදිකාව විවර කරමින් මේ සති අන්තයේ දී කොළඹ තර්ස්ටන් සහ ඉසිපතන විද්‍යාල තරග බිමට පිවිසීමට නියමිතයි.

ආරම්භක දිනයේදීම තම විද්‍යාලය දිරිගැන්වීම සඳහා පිටියට පිවිසි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් ඉදිරියේ කරට කර තරගයක නිරත වුනු විද්‍යාල දෙකේම ක්‍රීඩකයින් දෙවැනි දිනයේ උණුසුම තව තවත් වැඩි වන බවට ඉඟි සැපයූහ. ඒ අනුව ප්‍රථම ඉනිමේ ලකුණු 228ක් රැස් කල තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව කොළඹ ඉසිපතන විද්‍යාලය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් කඩුලු 3කට ලකුණු 78ක් ලබා සිටින්නේ ප්‍රථම ඉනිමේ වැඩි ලකුණු සංඛ්‍යාව කුමන විද්‍යාලයෙන් වාර්තා වේ දැයි යන්න පවා අවිනිශ්චිත වාතාවරණයක් නිර්මාණය කරමිනි.

වේග පන්දු යවන්නන්ට උදෑසන කාලයේ තණතිල්ලෙන් ලැබිය හැකි සහයක් අපේක්ෂා කරමින් කාසියේ වාසිය ජයග්‍රහණය කල ඉසිපතන විද්‍යාලය තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි. එම තීරණයේ නිවැරදි බව තහවුරු කරමින් වේග පන්දු යවන ක්‍රීඩක නෙරංජන් වන්නිආරච්චි ප්‍රථම පන්දු වාරයේදීම යෙශාන් වික්‍රමරත්න ලකුණු ලබා ගැනීමටත් පෙර දවා ගත්තේ ඉසිපතන කඳවුර දෙසින් නැගෙන ප්‍රීතිඝෝෂාව දෙගුණ තෙගුණ කරමිනි. දෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක කසුන් අබේරත්න සහ ඉමේෂ් විරංග ලකුණු 24ක් එක් කිරීමට සමත් වුවද මිඩ්-ඕන් කලාපයට ලබා දුන් උඩ පන්දුවක් නිසා ඉමේෂ්ගේ ඉනිම නිමා වූයේ ලිසුර විනත්ට ඉනිමේ එකම කඩුල්ල තිලිණ කරමිනි.

එතැන් පටන් පන්දුවෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වූ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ලහිරු ඩිල්ශාන් සහ නෙරංජන් වන්නිආරච්චි ප්‍රගීෂ මෙන්ඩිස්, කසුන් අබේරත්න සහ සවන් ප්‍රභාෂ් යන ක්‍රීඩකයින් නැවත ක්‍රීඩාගාරයේ අසුන් ගන්වන්නට සමත් වූයේ තර්ස්ටන් ඉනිම ලකුණු 66කට කඩුලු 5ක් බවට පත් කරමිනි. ඉසිපතනයේ පන්දු යවන්නන් තණතිල්ලෙන් ලැබුණු සහය ද උපරිමයෙන් භාවිතා කරමින් කඩුලු දඩයමේ නිරත වුවද පිටියේ පන්දු රකින්නන්ගේ සහය නිසි පරිද්දෙන් නොලැබීම නිසා රැක ගත යුතුම වූ උඩ පන්දු කිහිපයක් ද බිම අත හැරෙනු දැක ගන්නට ලැබුණි.

එහි ප්‍රයෝජනය උපරිමයෙන් නෙලාගත් පළපුරුදු ක්‍රීඩක චරණ නානායක්කාර සහ නවෝද් සමරකෝන් සයවැනි කඩුල්ල සඳහා අගනා වටිනා ලකුණු 98ක් එක්කලේ දණින් ඇද වැටුනු තර්ස්ටන් ප්‍රථම ඉනිම දෙපයින් නගා සිටුවමිනි. නානායක්කාරගේ පිත්තේ ගැටුණු පන්දුව 9 වතාවක් හතරේ සීමාව පසු කරද්දී ඔහු පන්දු 62ක් තුල ලකුණු 58ක් රැස්කර සිටි අතර නවෝද් ලකුණු 34කින් සබඳතාවය සඳහා සහය දැක්වීය.

ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගුණු ලකුණු සබඳතාවය නිසා නිහඬ වී තිබූ ඉසිපතන කඳවුරේ ජය ඝෝෂාව නැවතත් ආරම්භ කිරීමට ලහිරු ඩිල්ශාන් සමත් වූයේ චරණ සහ නවෝද් යන පිතිකරුවන් දෙදෙනාම නැවත ක්‍රීඩාගාරයට හරවා යවමිනි. නමුත් ඉනිමේ අවසන් භාගයේ දී තර්ස්ටන් ඉනිමට ලකුණු 26ක් සහ 24ක් බැගින් එක්කල නිපුන් ලක්ෂාන් සහ නිමේෂ් ලක්ෂාන් යන ක්‍රීඩකයින් තර්ස්ටන් ලකුණු පුවරුව ලකුණු 228ක් දක්වා ඉහළ නැංවීය. නෙරංජන් සහ ඩිල්ශාන් අතරේ කඩුලු 3 බැගින් බෙදී යද්දී දඟ පන්දු යවන ක්‍රීඩක හේෂාන් ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.

පිළිතුරු ඉනිමේ දී ඉසිපතනය විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන කළණ පෙරේරා සහ හර්ෂ රත්නායක ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක් එක් කිරීමට සමත් වූවත් කඩුලු අතර දිවීමේ දී සිදු වූ වරදක් නිසා හර්ෂගේ ඉනිම ලකුණු 16දී නිමාව දුටුවේය. 10වැනි පන්දු වාරයේ දී තර්ස්ටන් නායක කසුන් අබේරත්න කඩුල්ල පසුපස සිට රැක ගත් සුපිරි උඩ පන්දුවක් නිසා ලකුණු 20ක් ලබා සිටි කළණ පෙරේරා දැවී ගිය අතරේ එම කඩුල්ල වේග පන්දු යවන ක්‍රීඩක චරණ නානායක්කාරට හිමිකර දෙමිනි.

ප්‍රථම දිනයේ නිමාව සනිටුහන් වන විට නොදැවී ලකුණු 17ක් ලබාගෙන සිටින පැතුම් නිස්සංක දෙවැනි දිනයේ දී තම ලකුණු සංඛ්‍යාව තව තවත් ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ඉසිපතන ලකුණු පුවරුව මේ වන විට දැක්වෙන්නේ කඩුලු 3ට ලකුණු 78ක් වශයෙනි. දෙවැනි දිනයේ දී තවත් උපරිම පන්දුවාර 105ක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති අතර 1999 වසරේ සිට ජයග්‍රහණයක් සොයමින් සිටින මෙම විද්‍යාල දෙක අතර සහෝදර සටන මෙවරත් ජය පරාජයෙන් තොරව නිමා වීමට වැඩි ඉඩකඩක් ඇත.

තර්ස්ටන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 228 (පන්දුවාර 56.1): කසුන් අබේරත්න 43, ඉමේෂ් විරංග 19, චරණ නානායක්කාර 58, නවෝද් සමරකෝන් 34, නිපුන් ලක්ෂාන් 26, නිමේෂ් ලක්ෂාන් 34, නෙරංජන් වන්නිආරච්චි 3/66, ලහිරු ඩිල්ශාන් 3/47, හේෂාන් ප්‍රනාන්දු 2/19.

ඉසිපතන විද්‍යාලය – කඩුලු 3ක් දැවී ලකුණු 78 (පන්දුවාර 23): කළණ පෙරේරා 20, හර්ෂ රත්නායක 16, පැතුම් නිස්සංක 17*, චරණ නානායක්කාර 1/28, නවීන් ගුණවර්ධන 1/13.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුව