දැල්පන්දු ලොකු පුටුව ලක්ෂ්මි මහත්මියට

168

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය ඊයේ (31) පැවති අතර එහි දී ඡන්ද 21ක් සමඟින් සම්මේලනයේ සභාපති තනතුර සඳහා ජනසතු සේවා දැල්පන්දු සම්මේලනයෙන් නාමයෝජනා ලබා දුන් වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය තේරීපත් වුනා.

ඇයගේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ බස්නාහිර පළාත් දැල්පන්දු සංගමයේ ක්ලැරිල් ටෝස් මහත්මිය ලබා ගත් ඡන්ද ගණන 11ක්. ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවති මෙම නිලවරණය සඳහා සභාපති තනතුර වෙනුවෙන් නාමයෝජනා ලබා දී තිබුණු කොළඹ දිස්ත්‍රික් සංගමයේ පද්මා බැද්දේවෙල සහ ගම්පහ දිස්ත්‍රික් සංගමයේ වජිරා කුමාර යන මහත්මීන් පසුව නාමයෝජනා ඉල්ලා අස්කර ගත් අතර ඔවුන්ගේ සහය ද ලබා දී තිබුණේ ලක්ෂ්මි මහත්මිය වෙතයි.

සම්මේලනයේ ලේකම් ධුරය සඳහා වින්දනා දායාරත්න මහත්මිය තේරිපත් වුනේ ඡන්ද 20ක් ලබා ගනිමිනි. අනෙක් අපේක්ෂිකාව වූ බී. ඩී. සුමිත්‍රා මහත්මිය ලබා ගත් ඡන්ද ගණන 12ක්.

උපලේකම් තනතුර සඳහා නාමයෝජනා ලබා දී තිබුණු කළුතර සංගමයේ චම්පා ගුණවර්ධන මහත්මිය ඉල්ලා අස්වීම නිසාවෙන් නිතරගයෙන් එම තනතුර සඳහා නිතර්ෂනා කුලෙන්තිරන් මහත්මිය තේරිපත් වුනා.

භාණ්ඩාගාරික තනතුර සඳහා තේරීපත් වුනේ කොළඹ සංගමය නියෝජනය කරන පත්මිණි හොරණගේ මහත්මියයි. උපභාණ්ඩාරික තනතුර සඳහා තේරිපත් වුනේ ජනසතු සේවා දැල්පන්දු සංගමයේ ලයානි රේණුකා මහත්මියයි.

මේ නිලධාරි මණ්ඩලයට ඉදිරියේ දී පාසල් දැල්පන්දු සංගමයේ නියෝජිතයෙකු ද එක්වීමට නියමිතයි.

නව සභාපති ලෙස තේරීපත් වූ ලක්ෂ්මි මහත්මිය මින් පෙර ද සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කරමින් අත්දැකීම් සහිත තැනැත්තියක්. නිලවරණය සඳහා දැල්පන්දු සම්මේලනයේ ලියාපදිංචි ඡන්ද හිමි සංගම් 35න් 32ක් පමණක් සහභාගී වී තිබුණේ ත්‍රිකුණාමලය, මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික් සංගම්වල ඡන්ද බලය අහිමි කිරීමට නිලවරණ කමිටුව තීරණය කර තිබූ නිසාවෙනි.

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නව නිලධාරීන්:

  • සභාපති – වික්ටෝරියා ලක්ෂ්මි
  • ලේකම් – වින්දනා දායාරත්න
  • භාණ්ඩාගරික – පත්මිණි හොරණගේ
  • උපලේකම් – නිතර්ෂනා කුලේන්තිරන්
  • උපභාණ්ඩාගාරික – ලයානි රේණුකා

දිනමිණ පුවත්පත ඇසුරෙනි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<