රග්බි ලොව පතාක යෝධයින් අවසන් ගැටුමට සුදුසුකම් ලබයි!

Rugby World Cup 2023

479

2023 රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථක ම කණ්ඩායම් ද්විත්වය ලෙස සැලකෙන නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව සමත් වුනා. 

මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග ඊයේ (21) සහ අද (22) උදෑසන නවසීලන්තය සහ ආජන්ටිනාව අතරත්, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතරත් පැවැත්වුණා. 

නවසීලන්තය සහ ආජන්ටිනාව  

මෙවර ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ලෙස පැවැත්වුණු මෙම තරගයේ දී නවසීලන්තය විසින් ආජන්ටිනාවට එරෙහිව ලකුණු 44-6ක් ලෙස පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම තරගය ආරම්භ වීමට පෙර සිටම නවසීලන්තයට වැඩි වාසි ඇති තරගයක් ලෙස අනුමාන කෙරුණු අතර, එම අනුමාන අතිශය නිරවද්‍ය ඒවා බව තහවුරු කරමින් නවසීලන්ත ක්‍රීඩකයින් තරගය පුරාවටම සිය ආධිපත්‍යය විහිදුවාලීමට සමත් වුනා.

මෙහි දී නවසීලන්තයේ Will Jordan උත්සාහක දිනුම් තුනක් වාර්තා කිරීමට සමත් වූ අතර ඒ අනුව ඔහු විසින් මෙවර තරගාවලියේ දී මේ වන විට උත්සාහක දිනුම් 8ක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම මේ සමඟ ඔහු මේ වන විට ලෝක කුසලාන ඉතිහාසයේ එක් තරගාවලියක ක්‍රීඩකයෙකු විසින් වාර්තා කළ වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයේ සම වාර්තාවේ (Jonah Lomu, Bryan Habana සහ Julian Savea හා සම වෙමින්) හිමිකරුවෙකු වීමට ද සමත් වුනා. කෙසේ වෙතත් තරගාවලියේ අවසන් මහා තරගයේ දී Jordan හට මෙම වාර්තාවේ තනි අයිතිය ලබා ගැනීමට ද විශාල අවස්ථාවක් ඉතිරි වී තිබෙනවා.

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය  

2019 ලෝක කුසලාන අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් එකිනෙකා නැවතත් අද අලුයම මුණ ගැසුණා. මෙම තරගය මෙතෙක් තරගාවලියේ පැවැත්වුණු වඩාත් උණුසුම් ම තරගයක් ලෙස සැකයකින් තොරවම හඳුන්වා දිය හැකි.

තරගයේ පළමු අර්ධය නිමා වන විට එංගලන්තය විසින් ලකුණු 12-6ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර, 69 වැනි මිනිත්තුවට පැමිණෙන තෙක් ම තරගයේ වාසිය එංගලන්තය සතු වුනා.

නමුත් 69 වැනි මිනිත්තුවේ දී RG Snyman විසින් වාර්තා කළ උත්සාහක දිනුම සමඟින් අප්‍රිකානුවන් තරගයට අවතීර්ණ වීමට සමත් වූ අතර එම උත්සාහක දිනුම නිසා ලද ප්‍රවර්තනය සහ 78 වැනි මිනිත්තුවේ දී ලද දඬුවම් පහර අවස්ථාව සාර්ථක කර ගත් Handre Pollard විසින් තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකාවේ නම ඉදිරියෙන් ලියා තැබීමට සමත් වුනා. 

තරගයේ අවසන් ලකුණු තත්වය සටහන් වුනේ 15 – 16ක් ලෙසයි. 

මෙම අවසන් පූර්ව තරග නිමා වීමත් සමඟ මෙවර ලෝක කුසලානයේ තවත් පැවැත්වීමට ඉතිරිව ඇත්තේ තරග 2ක් පමණයි. 

ලෝකඩ පදක්කම (තෙවැනි ස්ථානය) සඳහා 

එංගලන්තය සහ ආජන්ටිනාව – 28 (සෙනසුරාදා) අලුයම 12.30ට 

මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරග හතරකට සහභාගී වී ඇති එංගලන්තයට මෙවර තරගාවලියේ දී ලැබෙන ස්ථානය පිළිබඳ ඔවුන් එතරම් සෑහීමකට පත් නොවන බව වටහා ගත හැකි.

නමුත් ආජන්ටිනාව පාර්ශවයෙන් ගත් කළ 2007 වසරේ දී තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් වීමෙන් පසුව නැවතත් ඔවුන්ට ඒ හා සමාන දක්ෂතාවක් දැක්වීමට දැන් අවස්ථාවක් උදා වී තිබෙනවා. එම නිසා මෙම තරගයේ දී එංගලන්තයට ආජන්ටිනාවෙන් ඉහළ මට්ටමේ අභියෝගයක් එල්ල වෙතැයි අනුමාන කළ හැකි. 

අවසන් මහා තරගය  

නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව – 29 (ඉරිදා) අලුයම 12.30ට 

ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත් සාර්ථක ම කණ්ඩායම් ද්විත්වය ලෙස සැලකිය හැකි දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය ගැටෙන මෙම තරගයේ ප්‍රතිඵලය සමඟ ඉදිරි වසර හතරක කාලය සඳහා රග්බි ලෝක ශූරයින් කවුරුන් ද යන වග තීරණය වනු ඇති. 

නවසීලන්තය මෙතෙක් ඉතිහාසයේ ක්‍රීඩා කර ඇති අවසන් තරග 4න් තුනක් ම ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර ඔවුන් පරාජය වූ එකම අවස්ථාව ලෙස 1995 ලෝක කුසලාන අවසන් තරගය සටහන් වනවා. එවර ඔවුන් පරාජයට පත් වුනේ ද දකුණු අප්‍රිකාව හමුවේ වීම විශේෂත්වයක්.

මේ අතර දකුණු අප්‍රිකාව මෙතෙක් තමන් සහභාගී වූ අවසන් මහා තරග තුනම ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර මෙවර ඔවුන්ට ජයග්‍රහණයක් වෙත යා හැකි වුවහොත් එය ඔවුන් නොකඩවා ලද දෙවැනි ලෝක ශූරතාව ලෙස ද සටහන් වනු ඇති. එමෙන්ම නවසීලන්තයට පසුව (2011 සහ 2015) එවැනි දක්ෂතාවක් ප්‍රකට කළ ලොව එකම රට ලෙස ද ඔවුන් ඉතිහාසයට එක් වනු ඇති.

එමෙන්ම මෙවර ලෝක කුසලානය ආරම්භ වන විට තිබූ රග්බි ශ්‍රේණිගත කිරීම් ද මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී තිබෙනවා. ඒ අනුව දකුණු අප්‍රිකාව අංක එක ස්ථානයට පිවිසෙද්දී, තරගාවලිය ආරම්භ වන විට අංක හතර ස්ථානයේ රැඳුණු නවසීලන්තය ශ්‍රේණිගත කිරීම් හි දෙවැනි ස්ථානයට පැමිණීමට සමත් වී තිබෙනවා. 

මේ අනුව දැනට ලොව හොඳම රග්බි කණ්ඩායම් ද්විත්වය එකිනෙකා ගැටෙන තියුණු අවසන් මහා තරගයක් එළඹෙන 29 වැනිදා දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වනු ඇති. 

2023 රග්බි ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

The Independent ඇසුරිනි. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<