2023 රග්බි ලෝක කුසලානයට උණුසුම් මුහුණුවරක්

Rugby World Cup 2023

1898

මේ දිනවල ප්‍රංශයේ දී පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලානයේ මූලික වටයේ තවත් පැවැත්වීමට ඉතිරි වී ඇත්තේ තරග 8ක් පමණයි.

නමුත් තවමත් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට නිල වශයෙන් සුදුසුකම් ලබා ඇත්තේ කණ්ඩායම් දෙකක් (වේල්ස් සහ එංගලන්තය) පමණක් වීම නිසා මූලික වටයේ ඉතිරි වී ඇති තරග 8 අතිශය උණුසුම් ස්වභාවයක් ගනු ඇති බව අනුමාන කළ හැකි.

තරගාවලියේ පළමු තරගයේ දී ම නවසීලන්තය ප්‍රංශය හමුවේ පරාජය වූ අතර, පසුව දෙවරක් ලෝක ශූරතාව හිමි කර ගැනීමට පවා සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ෆීජි සහ වේල්ස් කණ්ඩායම් හමුවේ පරාජයට පත්වුනා. එමෙන්ම තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් වූ දකුණු අප්‍රිකා – අයර්ලන්ත තරගයෙන් අයර්ලන්තය ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා.

මෙවන් තියුණු සහ තීරණාත්මක තරග ගණනාවක් අවසානයේ දී මේ වන විට ඕස්ට්‍රේලියාව විසින් ලෝක කුසලානයේ ඉදිරි වටයට පිවිසීමට හැකි වේ ද යන ගැටලුවෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටිනවා.

මේ අතරම ඕස්ට්‍රේලියාව තරම් අවදානම් තත්වයක පසු නොවුනත් දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ප්‍රංශය, ස්කොට්ලන්තය වැනි ප්‍රබල කණ්ඩායම් රැසක් තවමත් නිල වශයෙන් ඉදිරි වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වී නැහැ.

මෙවර තරගාවලියට කාණ්ඩ හතරක් ඔස්සේ තරග වදින කණ්ඩායම් 20ක ලෝක කුසලාන ඉදිරි ගමන කෙසේ විය හැකි දැයි විමසා බලමු.

A කාණ්ඩය

ඉතිරි තරග

  • නවසීලන්තය සහ උරුගුවේ – ඔක්තෝබර් 5 (ශ්‍රී ලංකා වෙලාවෙන් 06 වැනිදා අලුයම)
  • ප්‍රංශය සහ ඉතාලිය – ඔක්තෝබර් 06

ප්‍රංශය විසින් තමන් මෙතෙක් ක්‍රීඩා කළ තරග තුන ම ජයග්‍රහණය කිරීමට සමත් වුනත් ඉතාලිය සහ නවසීලන්තය විසින් ලබා දෙන ප්‍රබල සටන නිසා තවමත් කිසිවෙකු හෝ ඉදිරි වටයට සුදුසුකම් ලබා ගෙන නැහැ. නමුත් ඉතිරි තරග දෙකේ දී ප්‍රංශය සහ නවසීලන්තය ජයග්‍රහණ ලබා ගතහොත් ඔවුන්ට කිසිදු සැකයකින් තොරවම ඉදිරි වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

නමුත් ප්‍රංශය සහ ඉතාලිය අතර තරගයෙන් ඉතාලිය ජයග්‍රහණය කළ හොත් ඉතාලියට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට අවකාශය හිමි වනු ඇති.

එමෙන්ම මෙම තරගවල දී ප්‍රසාද ලකුණු ලැබීම මත* එම තීරණවලට යම් බලපෑමක් එල්ල වීමට ද ඉඩ තිබෙනවා.

*. තරගයක් ජයග්‍රහණය කිරීමට ලකුණු 4ක් හිමි වන අතර, තරගයක දී උත්සාහක දිනුම් හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වාර්තා කළ හොත් ප්‍රසාද ලකුණක් හිමි වනු ඇත. එමෙන්ම තරගයක් පරාජය වුවත් එම පරාජය ලකුණු 7කට වඩා අඩු පරතරයක පවත්වා ගනී නම් පරාජිත කණ්ඩායමට ප්‍රසාද ලකුණක් හිමි වනවා. තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වේ නම් කණ්ඩායම් දෙකට ම ලකුණු 2 බැගින් හිමි වනවා.

මේ අතර නවසීලන්ත කණ්ඩායමට ද උරුගුවේ කෙසේ හෝ පරාජය කිරීම ඉදිරි වටයට පිවිසීමට ප්‍රමාණවත් වුවත්, උරුගුවේ කණ්ඩායමට ද ඉදිරි වටයට පිවිසීමට ඉතාම සුළු ඉඩක් ඉතිරිව පවතිනවා.

කෙසේ වෙතත් මේ වන විට සිය තරග හතර ම ක්‍රීඩා කර ඒ සියල්ල පරාජය වූ නැමීබියාවට නම් නැවත නිවෙස් බලා යෑම හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නැහැ.

B කාණ්ඩය

ඉතිරි තරග

  • අයර්ලන්තය සහ ස්කොට්ලන්තය – ඔක්තෝබර් 7
  • ටොංගා සහ රොමේනියා – ඔක්තෝබර් 08

ගියවර ශූරයින් වූ දකුණු අප්‍රිකාව මේ වන විටත් සිය තරග සියල්ල ම ක්‍රීඩා කර අවසන්. නමුත් අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගයෙන් ස්කොට්ලන්තය ප්‍රසාද ලකුණක් සහ ලකුණු 21ක පරතරයක් සහිතව ජයග්‍රහණය කළ හොත් (අයර්ලන්තයත් ප්‍රසාද ලකුණක් ලබා ගනීද්දී) දකුණු අප්‍රිකාවට ඉදිරි වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වනු ඇති.

මෙම කාණ්ඩයේ ටොංගා සහ රොමේනියා තරගය තරගාවලියට කිසිදු බලපෑමක් එල්ල නොකළත් අයර්ලන්ත සහ ස්කොට්ලන්ත තරගය මෙම දෙපිළට ම අතිශය තීරණාත්මක එකක් වනවා.

ස්කොට්ලන්තය එම තරගය ප්‍රසාද ලකුණක් සමඟ ජයග්‍රහණය කළ හොත් අයර්ලන්තය තරගාවලියෙන් ඉවතට විසි වීමේ අවදානමක් පවා නිර්මාණය වනු ඇති. නමුත් අයර්ලන්තය තරගය පරාජය වුවත් ප්‍රසාද ලකුණු 2ක් හිමි කර ගැනීමට සමත් වුව හොත් තත්වය තවත් උණුසුම් විය හැකි.

ඒ අනුව දකුණු අප්‍රිකාව, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතරින් තරගාවලියේ ඉදිරි වටයට පිවිසෙන කණ්ඩායම් දෙක මොනවා ද යන්න අවසන් මොහොත තෙක් අනුමාන කිරීම අපහසු වී තිබෙනවා.

C කාණ්ඩය

ඉතිරි තරග

  • වේල්ස් සහ ජෝර්ජියා – ඔක්තෝබර් 07
  • ෆීජී සහ පෘතුගාලය – ඔක්තෝබර් 08

ඕස්ට්‍රේලියාවට එරෙහිව ලද ජයග්‍රහණයත් සමඟින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් ප්‍රථම කණ්ඩායම බවට පත් වීමට වේල්සය සමත් වුනා.

ඕස්ට්‍රේලියාව මේ වන විටත් සිය තරග හතර ම ක්‍රීඩා කර අවසන් නිසා ඔවුන්ගේ ඉදිරි වටයට පිවිසීමේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම පාහේ පෘතුගාලය අතේ රැඳී පවතිනවා.

ෆීජී සහ පෘතුගාලය අතර පැවැත්වීමට නියමිත තරගයෙන් ෆීජි කණ්ඩායම එක් ප්‍රසාද ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුවහොත් ඔවුන් ඕස්ට්‍රේලියාව අබිබවා තරගාවලියේ ඉදිරි වටයට සුදුසුකම් ලබා ගනු ඇති. එම නිසා මෙවර ලෝක කුසලානය පිළිබඳ ඕස්ට්‍රේලියානු බලාපොරොත්තු නම් අතිශය දරුණු අගාධයකටයි වැටී තිබෙන්නේ.

D කාණ්ඩය

ඉතිරි තරග

  • එංගලන්තය සහ සැමෝවා – ඔක්තෝබර් 07
  • ජපානය සහ ආජන්ටිනාව – ඔක්තෝබර් 08

ජපානය විසින් සැමෝවා දේශය පරාජය කිරීමත් සමඟ එංගලන්තය තරගාවලියේ ඉදිරි වටය වෙත නිල වශයෙන් සුදුසුකම් ලබා ගත්තා.

මෙම කාණ්ඩයේ ජපානය සහ ආජන්ටිනාව ගැටීමට නියමිත තරගය අතිශය තීරණාත්මක එකක් වනු ඇති අතර එම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වන කණ්ඩායම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

තරගාවලියේ මූලික වටයේ තරග සියල්ල ම මෙම මස 09 වැනිදා අලුයමින් නිමා වීමට නියමිත අතර ඉන්පසුව තරගාවලියේ ඉතිරි වන කණ්ඩායම් 08 විසින් එළඹෙන 14 වැනිදා පටන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී තරග වදිනු ඇති.

2023 රග්බි ලෝක කුසලානය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Independent ඇසුරිනි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<