ෆීජි පැරදුනත් ඉදිරියට; ඕස්ට්‍රේලියාව ඉතිහාසය වෙනස් කරමින් එළියට!

Rugby World Cup 2023

1994
Fiji and Argentina joins with final eight

2023 රග්බි ලෝක කුසලානයේ මූලික වටයේ තරග අද (09) උදෑසන අවසන් වුනා. 

මේ අනුව වේල්සය, ආජන්ටිනාව, නවසීලන්තය, අයර්ලන්තය, එංගලන්තය, ෆීජි, දකුණු අප්‍රිකාව සහ සත්කාරක ප්‍රංශය තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. නමුත් ඊයේ (08) දිනය ආරම්භ වන විටත් ෆීජි හෝ ආජන්ටිනා කණ්ඩායම් තරගාවලියෙන් ඉදිරියට යාම පිළිබඳ ඉතිරි වී තිබුණේ තහවුරු නොවූ සැකයක් පමණයි. 

ඊයේ සවස ජපාන සහ ආජන්ටිනා කණ්ඩායම් එකිනෙකා තරග වැදුණු අතර මෙහි දී ආජන්ටිනාව විසින් 39-27ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සමත් වීමත් සමඟ ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර ජපානය තරගාවලියෙන් ඉවතට විසි වී ගියා. 

මේ අතර අද උදෑසන ෆීජි සහ පෘතුගාලය අතර තරගය පැවැත්වුණු අතර මෙහි දී පෘතුගාලය විසින් රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරමින් 24-23ක් ලෙස ෆීජි දේශය පරාජය කිරීමට සමත් වුනා. 

නමුත් මෙම තරගයේ දී ෆීජි දේශය විසින් පෘතුගාලයට එරෙහිව ලකුණු 7කට වඩා අඩු පරතරයක් පවත්වා ගැනීමට සමත් වීම නිසා ඔවුන්ට එක් ප්‍රසාද ලකුණක් හිමි වූ අතර ඒ අනුව ඔවුන් C කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණෙමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. ෆීජි ලබා ගත් ප්‍රසාද ලකුණ නිසා ඕස්ට්‍රේලියාවට ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට තරගාවලියේ මූලික වටයෙන් ම ඉවතට යෑමට ද සිදු වුනා. 

ඒ අනුව මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ ශූරතාව ජයග්‍රහණය කළ කණ්ඩායම් හතරෙන් ඕස්ට්‍රේලියාව හැරුණු කොට අනෙක් රටවල් තුනත් සමඟින් තවත් රටවල් පහක් මෙවර ශූරතාව වෙනුවෙන් එළඹෙන 14, 15 සහ 16 දින වල දී අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලට සහභාගී වනු ඇති. 

වේල්ස් සහ ආජන්ටිනාව – ඔක්තෝබර් 14 රාත්‍රි 8.30ට 

2019 ලෝක කුසලානයේ සිව්වැනි ස්ථානය දිනා ගත් වේල්ස් කණ්ඩායම විසින් මෙවර ආජන්ටිනාව සමඟ තරග වැදීමට නියමිතයි. එමෙන්ම 1987 ලෝක කුසලානයේ දී තෙවැනි ස්ථානය ලබා ගැනීම මෙතෙක් වේල්සයේ ඉහළම ලෝක කුසලාන දක්ෂතාව ලෙස සටහන් වී තිබෙනවා. 

මේ අතර ආජන්ටිනාව 2007 දී තෙවැනි ස්ථානය සහ 2015 දී සිව්වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇති අතර අවසන් වරට මෙම කණ්ඩායම් දෙක මුණගැසුනු තරගයෙන් (2022) දී වේල්සය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

අයර්ලන්තය සහ නවසීලන්තය –  ඔක්තෝබර් 15 මධ්‍යම රාත්‍රි 12.30ට 

මේ වන විට ලොව අංක එකේ රග්බි කණ්ඩායම ලෙස ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියෙන් ම රැඳෙන අයර්ලන්තය විසින් පසුගිය සෙනසුරාදා ස්කොට්ලන්තයට එරෙහිව ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් නොකඩවා තරග 17ක් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. නමුත් රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ නම් අයර්ලන්තයට එතරම් හොඳ මට්ටමේ වාර්තාවක් නැහැ. 

මේ අතර අයර්ලන්තයේ ප්‍රතිවාදීන් වන නවසීලන්තය ප්‍රංශය හමුවේ මෙවර ලෝක කුසලානයේ ආරම්භක තරගය අනපේක්ෂිත ලෙස පරාජය වුවත් පසුව ඔවුන් ඉතාලිය, උරුගුවේ සහ නැමීබියාව ඉතා පහසුවෙන් පරාජය කිරීමට සමත් වුනා. 1987, 2011 සහ 2015 යන වර්ෂවල දී ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වූ නවසීලන්තය සහ අයර්ලන්තය අතර පැවැත්වීමට නියමිත තරගය මෙවර ලෝක කුසලානයේ වඩාත් තරගකාරී ම තරග වලින් එකක් වනු ඇති. 

එංගලන්තය සහ ෆීජී – ඔක්තෝබර් 15 රාත්‍රි 8.30ට 

මූලික වටයේ දී ජෝජියාවට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගත් ජයග්‍රහණ නිසා ඊයේ පෘතුගාලය හමුවේ අනපේක්ෂිත පරාජයකට මුහුණ දුන්නත්, ෆීජි දේශය තරගාවලියේ ඉදිරි වටයට පිවිසීමට සමත් වුනා. මීට පෙර 1987 සහ 2007 වර්ෂ වල දී අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ ෆීජි දේශය මෙවර එක් වරක් ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වූ එංගලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතයි. 

ලෝක කුසලාන ඉතිහාසයේ අනුශූරතා තුනකට ද (1991, 2017 සහ 2019) හිමිකම් කියන එංගලන්තය මේ වන විට තරග අටක ජයග්‍රාහී රිද්මයක් පවත්වා ගෙන පැමිණ ඇති නමුත් පසුගිය සෙනසුරාදා ඔවුන් සැමෝවා කණ්ඩායම හමුවේ අතිශය අසීරු අඩියකට පවා වැටීමට ගොස් පසුව තියුණු ජයග්‍රහණයක් (18-17) ලබා ගත්තා. එම නිසා අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන්ගේ ජයග්‍රාහී රිද්මය ෆීජි හමුවේ බිඳී යාමට වුවත් ඉඩ නැතිවාම නොවෙයි. 

ප්‍රංශය සහ දකුණු අප්‍රිකාව – ඔක්තෝබර් 16 මධ්‍යම රාත්‍රි 12.30ට 

වත්මන් ලෝක ශූරයින් මෙන්ම ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්තය සමඟ කරට කර හිඳිමින් ශූරතා තුනකට හිමි කම් කියන දකුණු අප්‍රිකාව විසින් මෙවර තරගාවලියේ දී පරාජය වුනේ අයර්ලන්තයට පමණයි.  

එමෙන්ම ප්‍රංශයට ද ලෝක කුසලාන ඉතිහාසයේ අනු ශූරතා තුනක් (1987, 1999 සහ 2011) හිමි වී තිබෙනවා.  

මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ දකුණු අප්‍රිකාව සහ ප්‍රංශය මීට පෙර මුණ ගැසී ඇත්තේ එක් වතාවක් පමණයි. 1995 වසරේ පැවැත්වුණු මෙම තරගයේ දී දකුණු අප්‍රිකාව විසින් ප්‍රංශ කණ්ඩායම පරාජය කිරීමට සමත් වුවා පමණක් නොව පසුව එවර ශූරතාව ද දිනා ගත්තා. 

මෙම කණ්ඩායම් 8න් එකක් එළඹෙන ඔක්තෝබර් 29 වැනිදා නව රග්බි ලෝක ශූරයින් ලෙස කිරුළු දරනු ඇති අතර එතෙක් පැවැත්වීමට නියමිත ඉතිරි තරග 8ම අතිශය උණුසුම් ඒවා ද වනු ඇති. 

මෙවර රග්බි ලෝක කුසලානයේ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Olympics සහ Rugbyworldcup ඇසුරිනි. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<