ප්‍රකාශය බැරෑරුම් වුනත් මං කතා කළේ හදවතින් – ගේල්

71
Gayle

කැරීබියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැමෙයිකා Tallawahs කණ්ඩායමෙන් ඉවත් කිරීම ගැන අමනාපයක් ඇති වීම හා තමා ඒ පිළිබඳව අදහස් දැක්වීම වෙනුවෙන් පෙනී සිටින බව කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් පසුගිය සිකුරාදා (15) පැවසීය.

කෙසේ වෙතත්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක රාම්නරේෂ් සර්වාන් කොරෝනා වයිරසයට වඩා නරක යැයි විස්තර කිරීම හානිකර බව ඔහු පිළිගත්තේය.

>> තමුන් නින්දිත කෙනෙක්; ගේල්ගෙන් සර්වාන්ට දෝස්මුරයක්

40 හැවිරිදි ගේල් පසුගිය මාසයේ කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ ජැමෙයිකා Tallawahs විසින් නිදහස් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ‍යම් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබුණේ ගේල් වසර 3ක් සඳහා ගිවිසුම් අත්සන් කර තිබීම නිසාවෙනි. 

කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟින් ක්‍රිකට් ලෝකයට විශාල පහරක් එල්ල කළ ආරම්භක පිතිකරුවෙකු වන ක්‍රිස් ගේල් youtube හි මිනිත්තු 15ක වීඩියෝ පට 4ක් නිකුත් කරමින් Tallawahs කළමනාකාරිත්වයට හා කණ්ඩායමේ සහකාර පුහුණුකරු සර්වාන් හට සෘජුවම චෝදනා කළේය. 

“සර්වාන් ඔබ මේ මොහොතේ කොරෝනා වයිරසයට වඩා නරකයි,” ගේල් පැවසීය.

“ඔබ සර්පයෙක්. ඔබ තවමත් නොමේරූ පලිගන්නා කෙනෙක්. ඔබ තවමත් මිනිසුන්ට පසුපසින් පිහියෙන් අනින පුද්ගලයෙක්.”

කෙසේ වෙතත් මෙම වීඩියෝ පට නිකුත් වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස් පැහැදිලි කිරීම සඳහා පසුගිය දා ඔහුට කැඳවීමක් ලැබී තිබුණි. ඉන් අනතුරුව ගේල් පසුගිය සිකුරාදා මතභේදයට තුඩු දුන් මෙම සිදුවීම සාධාරණීකරණය කිරීමට උත්සාහ කළේය. 

“මම මෙම වීඩියෝ නිර්මාණය කළේ එක අරමුණකින්. මට අවශ්‍ය වුනේ Tallawahs කණ්ඩායමෙන් ඉවත් වෙන්න හේතුව ජැමෙයිකාවේ රසිකයින්ට පැහැදිලි කිරීමට” ගේල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. 

“ජැමෙයිකාවේ දී මගේ කැරිබියන් ප්‍රිමියර් ලීග් වෘත්තිය අවසන් කිරීම මගේ ලොකුම පැතුමයි. මම මීට පෙර කැරිබියන් ප්‍රිමියර් ලීග් ශූරතා දෙකකට නායකත්වය දුන්නා. මම මගේ ප්‍රදේශයේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ සබ්‍රීනා පාක් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළා.” 

“මම ඒ වෙලාවේ අමනාපයෙන් හිටියේ. ඒත් මම එම වීඩියෝ පටවල මගේ අදහස් දැක්වීම් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ මගේ වචන හදවතින්ම කතා කළ වචන.” 

කෙසේ වෙතත් එවැනි ප්‍රකාශ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයට මෙන්ම කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහ එහි වෙළඳ නාමයට හානියක් ලෙස සැලකිය හැකි බව ක්‍රිස් ගේල් පිළිගෙන ඇත.

>> “මේ කිසිම දේකට මම සම්බන්ධ නැහැ” – සර්වාන්

“කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට හානියක් කිරීම මගේ අරමුණ වුනේ නෑ. කැරිබියන් තරගාවලියට පසුගිය වසර හත තුළ කැරීබියානු ප්‍රේක්ෂකයන් ඉදිරියේ ක්‍රීඩා කිරීමට මට අවස්ථාවක් ලබා දුන්නා. එය මම අවංකවම අගය කරන වරප්‍රසාදයක්.  මම එයට ස්තූතිවන්ත වෙනවා.” 

ක්‍රිස් ගේල් ඔහුගේ ඉවත් කිරීම සම්බන්ධයෙන් රම්නරේශ් සර්වාන්ට හා Tallawahs කළමනාකාරිත්වයට චෝදනා කිරීමෙන් අනතුරුව කොදෙව් සුපිරි ක්‍රීඩක අන්ඩ්‍රේ රසල් ද ප්‍රකාශයක් කරමින් ජැමෙයිකා Tallawahs කණ්ඩායමේ ඉහල කළමනාකරුවන්ගේ හැසිරීම අන් කණ්ඩායම්වලට වඩා වෙනස් බව පවසා සිටියේය. 

ගේල්ගේ ප්‍රකාශයට ජැමෙයිකා Tallawahs කණ්ඩායම මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති අතර රම්නරේශ් සර්වාන් ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් එම සිදුවීම් සඳහා ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසා සිටියේය. ගේල් කණ්ඩායමෙන් ඉවත් කිරීම කණ්ඩායම විසින් ගත් තීරණයක් බවත් එය ව්‍යාපාරික පදනම මත ගත් තීරණයක් බවත් ඔහු එහි දී කියා සිටියා. 

පසුගිය දා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා වන රිකී ස්කර්රිට් ගේල්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් Tallawahs කණ්ඩායම යම් පියවරක් ගත යුතු බව පවසා සිටියේය. 

ගේල් කොදෙව් ක්‍රිකට් ආයතනය සමඟින් කොන්ත්‍රාත්තුවකට එළඹ නැති හෙයින් තමන්ට ක්‍රිකට් ආයතනය ලෙස ඔහුට විරුද්ධව යම් පියවරක් ගත නොහැකි නමුත් එය ක්‍රිකට් ආයතනයට හා කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට කළ අගෞරවයක් ලෙස සලකන බවත් ඔහු තවදුරටත් කියා සිටියා. 

>> ක්‍රිස් ගේල්ට වැඩ වරදින ලකුණු

මේ වසරේ අගෝස්තු මාසයේ ආරම්භ වීමට නියමිත කැරිබියන් ප්‍රිමියර් ලීග් සංස්කරණය සඳහා ගේල් සාන්ත ලුසියා සූක්ස් සමඟ එක්විය. ඒ ජැමෙයිකා Tallawahs කණ්ඩායම විසින් ඔහු නිදහස් කිරීම නිසාවෙනි. ප්‍රවීණ වමත් ක්‍රීඩක ගේල්, 2013 සහ 2016 දී Tallawahs කණ්ඩායමට ශූරතාව ලබා ගැනීමට නායකත්වය සැපයීය.

ඉන්පසුව, සාන්ත කිට්ස් සහ නෙවිස් කණ්ඩායම සමඟ එක්වූ ගේල් එහි වසර දෙකක් ක්‍රීඩා කළේය. ඉන් අනතුරුව ජැමෙයිකා Tallawahs කණ්ඩායමට පසුගිය වසරේ දී නැවත එක්වූයේ වසර 3ක ගිවිසුමක් සමඟිනි. 

පසුගිය වසරේ තරගාවලියේ දී ගේල් සිය දෙවන තරගයේ දී ලකුණු 116ක් රැස් කළ ද, ඉන් අනතුරුව පැවති ඉනිම් 10ක දී ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 243ක් පමණි.

ගේල් සිය ටෙස්ට් දිවියේ වැඩි කාලයක් ගත කළේ 2016 දී ජාත්‍යන්තර තරගවලින් විශ්‍රාම ගත් කොදෙව් පිතිකරු සර්වාන් සමඟිනි.

Universe Boss ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ගේල් පසුගිය වසරේ ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව මේ දක්වා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<