ඉන්දියාවට ශූරතා ත්‍රිත්වයක්

South Asian Youth Table Tennis Championships

80
South Asian Youth Table Tennis Championships

ශ්‍රී ලංකා මේස පන්දු සංගමය දකුණු ආසියානු මේස පන්දු සංගමයේ ද සහභාගීත්වයෙන් සංවිධානය කරන දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියේ වයස අවුරුදු 19න් පහළ බාලිකා ඉසව්වේ සහ වයස අවුරුදු 15න් පහළ බාලක සහ බාලිකා ඉසව් ද්විත්වයේ ශූරතා දිනා ගැනීමට ඉන්දියාව අද (27) සමත් වූවා.

නිමා වූ මෙම ඉසව් ත්‍රිත්වයේ ම අනු ශූරතා හිමිකර ගත්තේ සත්කාරක ශ්‍රී ලංකාවයි.

වයස අවුරුදු 19න් පහළ බාලිකා ඉසව්වේ දී ශ්‍රී ලංකාව පළමු වටයේ දී මාලදිවයින තරග 3-2ක් ලෙසින් ද, නේපාලය තරග 3-0ක් ලෙසින් ද පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියා. ඉන්දියාව මෙම වටයට එක් වෙන්නේ පාකිස්තානය තරග 3-0කින් සහ බංග්ලාදේශය තරග 3-0කින් පරාජය කරමිනුයි.

ඒ අනුව සත්කාරක ශ්‍රී ලංකාව සමඟින්, ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය අවසන් පූර්ව වටයට එක් වූවා.

ඉන්දියාව සහ නේපාල කණ්ඩායම් අතර පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් 3-0ක ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ පහසුවෙන් ම අවසන් මහා තරගයට අසුන් වෙන් කර ගත්තා.

නමුත් ශ්‍රී ලංකාවට ප්‍රතිවාදී පාකිස්තානුවන් ලෙහෙසියෙන් පරාජය කිරීමට හැකි වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වෙන් ම තරගයට පිවිසි ටමාදි කවින්ද්‍යා, පාකිස්තාන ක්‍රීඩිකා  Hoor Fawad වෙතින් තරග වට 2-3කින් පරාජය වීමට සිදු වීමත් සමඟින් තවත් තරගයක් ඊට එක් වූවා.

අනතුරුව පැවැති තරගවල දී බිමන්දි බණ්ඩාර විසින් Kalsoom Khan තරග වට 3-0කින් ද සහ Hoor Fawad තරග වට 3-0කින් පරාජය කරමින් ද සහ ලෙසන්‍යා සෙතුම්දී විසින් Bisma Faryal තරග වට 3-1කින් ද පරාජය කරමින් ලත් තරග 3-1ක ජයග්‍රහණයත් සමඟින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන් බිමන්දි බණ්ඩාර තරගයට එක් වූ අතර එහි දී ඇය T. Sanjay හමුවේ තරග වට 3-0ක් ලෙසින් පරාජයට පත් වූවා. අනතුරුව ටමාදි කවින්ද්‍යා තරගයට එක් වූ අතර ඇය තියුණු තරගයකින් අනතුරු ව S.Pritha හමුවේ තරග වට 3-2ක් ලෙසින් පරාජයට පත් වූවා. අවසන් තරගකාරිය ලෙසින් තරගයට පිවිසි දිව්‍යා ධරනි, M. Risha හමුවේ තරග වට 3-0ක පරාජයක් ලැබූ අතර ඒ අනුව ඉන්දීය ක්‍රීඩිකාවෝ තරග 3-0ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් එම ඉසව්වේ ශූරතාව දිනා ගත්තා.

එමෙන් ම වයස අවුරුදු 15න් පහළ බාලිකා සහ බාලක ඉසව්වල දී  ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත් වූයේ ඉන්දියාවයි. එහි දී බාලක අවසන් මහා තරගයේ දී ඉන්දියාව හමුවේ තරග 3-1ක පරාජයක් ද සහ බාලිකා අවසන් මහා තරගයේ දී තරග 3-0ක පරාජයක් ලැබීමට ද ශ්‍රී ලංකාවට සිදු වූවා.

මේ අතර අද පැවැති වයස අවුරුදු 19න් පහළ බාලක ඉසව්වේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවැති තරගයේ දී තරග 3-1ක ජයග්‍රහණයක් ද සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැති තරගයේ දී 3-0ක ජයග්‍රහණයක් ද ලබා ගනිමින් තරගාවලියේ ඉදිරියට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූවා.

ඊට අමතර ව බංග්දේශය සහ මාලදිවයින අතර පැවැති තරගයෙන් බංග්ලාදේශය තරග 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරිමට සමත් වූවා.

තරග ප්‍රතිඵල

වයස අවුරුදු 19න් පහළ බාලිකා අවසන් මහා තරගය

  • T. Sanjay(ඉන්දියාව) විසින් 11-6ක්, 12-10ක් සහ 11-08න් ලෙසින් තරග වට 3-0කින් බිමන්දි බණ්ඩාර පරාජය කරන ලදි.
  • S.Pritha(ඉන්දියාව) විසින් 08-11ක්, 11-03ක්, 11-07ක්, 06-11ක් සහ 11-0ක් ලෙසින් තරග වට 3-2කින් ටමාදි කවින්ද්‍යා පරාජය කරන ලදි.
  • M. Risha(ඉන්දියාව) විසින් 11-08, 11-07ක් සහ 11-07ක් ලෙසින් තරග වට 3-0කින් දිව්‍යා ධරණි පරාජය කරන ලදි.

වයස අවුරුදු 15න් පහළ බාලිකා අවසන් මහා තරගය

  • D.Bhowmick(ඉන්දියාව) විසින් 11-08ක්, 11-07ක් සහ 11-09ක් ලෙසින් තරග 3-0කින් යොශිනි ජයවර්ධන පරාජය කරන ලදි.
  • S.Das(ඉන්දියාව) විසින් 11-09ක්, 11-09ක් සහ 11-04ක් ලෙසින් තරග 3-0කින් මිතුලි සහන්‍යා පරාජය කරන ලදි.
  • P. Kavya (ඉන්දියාව)විසින් 11-03ක්, 11-08ක් සහ 11-07ක් ලෙසින් තරග 3-0කින් සමින්දි වීරසූරිය පරාජය කරන ලදි.

වයස අවුරුදු 15න් පහළ බාලක අවසන් මහා තරගය

  • S. Arya(ඉන්දියාව) විසින් 11-04ක්, 11-05ක් සහ 11-05ක් ලෙසින් තරග වට 3-0කින් නවිරු නෙත්සර පරාජය කරන ලදි.
  • M.Soham(ඉන්දියාව) විසින් 11-06ක්, 11-06ක් සහ 11-06ක් ලෙසින් තරග වට 3-0කින් අකේන් බෝජිත් පරාජය කරන ලදි.
  • අගස්ත්‍ය ආනන්දිත විසින් 11.07ක්, 03-11ක්, 06-11ක්, 11-09ක් සහ 12-10ක් ලෙසින් තරග වට 3-2කින් S.Rupam(ඉන්දියාව) පරාජය කරන ලදි.
  • S. Arya(ඉන්දියාව) විසින් 11-03ක්, 11-08ක් සහ 11-08ක් ලෙසින් තරග වට 3-0කින් අකේන් බෝජිත් පරාජය කරන ලදි.

තරගාවලිය හෙට (28) දිනයේත් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<