දිනේෂ් ප්‍රියන්තට රිදී පදක්කම අහිමි වෙයි!

World Para Athletic Championship 2024

42
World Para Athletic Championship 2024

ජපානයේ Kobe හිදි පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ඊයේ (24) දිනයේ දිනේෂ් ප්‍රියන්ත විසින් දිනා ගත් රිදී පදක්කම ඔහුට අහිමි වුනා.

ඊයේ පැවැත්වුණු පිරිමි F46 හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කළ දිනේෂ් විසින් සිය ඉසව්වට විශිෂ්ට ආරම්භයක් ලබා ගනිමින් තරගයට අවතීර්ණ වූ අතර,  ඔහු විසින් මීටර් 64.59ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වෙමින් එම ඉසව්වේ තරගාවලි වාර්තාව ද තමන් සන්තකයට ගැනීමට ද සමත් වුනා.

නමුත් ඉසව්වේ අවසන් අදියරේ දී කියුබානු ක්‍රීඩක Guillermo Varona Gonzalez විසින් එතෙක් වේලා දිනේශ් සතු වූ තරගාවලි වාර්තාව සහ තරගයේ ප්‍රථම ස්ථානය ද තමන් සතු කර ගැනීමට සමත් වුනේ මීටර් 65.16ක දුරක් හෙල්ල විසි කරමිනුයි.

කෙසේ වෙතත් ඔහු මෙම පදක්කම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඉන්දියාව විසින් දිනේෂ්ගේ WPA (ලෝක පැරා මලල ක්‍රීඩා) වර්ගීකරණය පිළිබඳ විරෝධතා පළ කළ අතර, ඒ අනුව ඒ වෙනුවෙන් සිදු කරන පරීක්ෂණය නිමා වන තෙක් තරගයේ ප්‍රතිඵලය අත්හිටවීමට තීරණය කළා.

එම පරීක්ෂණයට අනුව දිනේෂ්ගේ රිදී පදක්කම ඔහුට අහිමි වන බව අද (25) දිනයේ නිවේදනය කළ අතර, ඒ අනුව මෙම ඉසව්වේ දී ඔහුට පසුපසින් තරගය නිම කළ ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනා වන Rinku (62.77) සහ Ajeet Singh (62.11) මෙම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මේත් සමඟින් ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ ජයග්‍රහණය කළ පදක්කම් ප්‍රමාණය නැවතත් දෙකක් දක්වා පහතට ඇද වැටුණා.

තරගාවලියේ ශ්‍රී ලාංකික දක්ෂතා පිළිබඳ ව උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<