එන්නත් එක්ක අමනාප Djokovicට තවත් ප්‍රශ්නයක්

228

ප්‍රංශය විසින් එරට කොරෝනා නීති දැඩි කිරීම හේතුවෙන් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක Novak Djokovic හට ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය අහිමි වීමේ අවදානමකට ලක්ව තිබෙනවා.

ප්‍රංශය තුල එන්නත්කරණ නීති දැඩි කිරීමට එරට රජය පසුගිය දා තීර්ණය කර තිබුණා. ඒ අනුව එළඹෙන පෙබරවාරි 15 සිට කොරෝනා වයිරසයට එරෙහිව එන්නත් නොකළ ඕනෑම කෙනෙකුට ප්‍රංශයේ ක්‍රීඩා ස්ථානවලට ඇතුළු වීමට අවසර හිමිවන්නේ නැහැ.

එලෙස එන්නත් ලබා නොගෙන ක්‍රීඩා ස්ථාන සඳහා ඇතුළු වන්නේ නම් ඔවුන්ට මාස 4ක් තුළ කොරෝනා වයිරසය ආසාදනය වී තිබිය යුතු වනවා. ඔවුන් මීට පෙර ඒ සඳහා මාස 6ක කාලසීමාවක් ලබා දී තිබූ අතර නව නීති යටතේ එය මාස 4කට අඩු කර තිබෙනවා.

ප්‍රංශය විසින් ගෙන ආ මෙම නීතිය වයිරසය පාලනය කිරීමේ රජයේ සැලැස්මට අනුව ගෙන ඇති අතර පුද්ගලයන් එන්නත්කරණයට යොමු කිරීම මෙන්ම එන්නත් නොකළ පුද්ගලයින් ක්‍රීඩාංගණ, අවන්හල් සහ වෙනත් පොදු ස්ථානවලට ඇතුල් වීම තහනම් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.

Djokovic මේ දක්වා කොරෝනා වයිරසයට එරෙහිව එන්නත් ලබා ගෙන නොමැති අතර ඔහුට පසුගිය දෙසැම්බර් මාසයේ දී කොරෝනා වයිරසය ආසාදනය වී තිබුණා. මීට පෙර පැවති මාස 6ක කාල සීමාව සම්බන්ධ නීතිවලට අනුව ඔහුට එළඹෙන මැයි 22 වැනිදා ආරම්භ වීමට නියමිත ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කළ හැකි වනවා.

නමුත් ප්‍රංශය විසින් ගෙන ඇති මෙම නව නීතිය මැයි මාසය දක්වා පැවතුනහොත් Novak Djokovic හට ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය අහිමි වනවා. එම කාලය තුළ ඔහු එන්නත ලබා ගතහොත් හෝ නැවතත් කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් ඔහුට තරගාවලියට එක්වීමට අවසර හිමිවනවා.

ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින Novak Djokovic ප්‍රංශ විවෘත තරගාවලියේ වත්මන් ශූරයා ද වනවා. මේ මස මුලදී ඔහුට ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ද අහිමි වුනා. ඒ එරට දැඩි COVID-19 එන්නත් කිරීමේ නීතිවලට අනුකූල නොවීම හේතුවෙන්.

Novak Djokovic හට තරගාවලිය අහිමි වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ සංවිධායකයින් පවසා ඇත්තේ ඉදිරියේ දී ඇති වන තත්වය අනුව රජයේ මෙම නීති වෙනස් විය හැකි බැවින් නිශ්චිත අදහසක් දැක්වීමට ඉක්මන් වැඩි බවයි.

Djokovic හට ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා වෛද්‍ය මණ්ඩල දෙකක් සහ තරගාවලි සංවිධායකයන් විසින් විශේෂ අවසරයක් ලබා දී තිබුණා. ඒ පසුගිය දෙසැම්බර් මාසයේ දී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ඔහු විසින් තහවුරු කිරීමෙන් අනතුරුවයි.

ඉන් අනතුරුව ස්වයංක්‍රීය ක්‍රියාවලියකින් ඔහුට ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට වීසා බලපත්‍රයක් ලැබුණු නමුත් පැමිණීමෙන් පසු දේශ සීමා නිලධාරීන් විසින් එම විශේෂ අවසරය වලංගු නොවන බව පවසමින් ඔහුව පිටුවහල් කිරීමට පියවර ගෙන තිබුණා.

අවසානයේ දී ඕස්ට්‍රේලියානු බලධාරීන් Novak Djokovicගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට තීරණය කළා. ඔහුගේ පැමිණීම එන්නත් විරෝධී මතයක් ඇති කළ හැකි බවත්, ඕස්ට්‍රේලියානුවන් ආරක්ෂිතව තබා ගැනීමට ඔහුව පිටුවහල් කළ යුතු බවත් ඕස්ට්‍රේලියානු බලධාරීන් අවධාරණය කර තිබුණා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<