ශ්‍රී ලංකාවට ආසියානු පැරා පදක්කම් ත්‍රිත්වයක්

4 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල 2023

175

චීනයේ පැවැත්වෙන 4 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මේ දක්වා රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව තිබෙනවා.

තරගාවලියේ පදක්කම් ලබා ගැනීම ආරම්භ කරමින් පළමු පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට මලල ක්‍රීඩක නුවන් ඉන්දික ඊයේ (24) සමත් වුනේ T44 කාණ්ඩයේ පිරිමි මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමිනුයි.

නුවන් එම තරගය තත්පර 11.63ක කාලයකින් අවසන් කිරීමට සමත් වූ අතර එය එම ඉසව්ව සඳහා තරගාවලියේ මෙතෙක් වාර්තා වූ හොඳම දක්ෂතාව වීම ද විශේෂත්වයක්.

මෙම තරගය සඳහා ඔහුට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමිල වර්ණකුලසූරිය සහභාගී වූ අතර තරගය තත්පර 12.36ක කාලයකින් අවසන් කළ ඔහුට හිමි වුනේ හයවැනි ස්ථානයයි.

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් දිනා දීමට මලල ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරිට හැකි වූ අතර T46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව්ව සඳහා සහභාගී වූ ඔහු මිනිත්තු 4:05.14ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් එම වාර්තාව පිහිටවූවා.

එම තරගය අවසන් කිරීමට ඔහු වාර්තා කළ කාලය ද නව ක්‍රීඩා උළෙල වාර්තාවක් ලෙස සටහන් වීම ද කැපී පෙනුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අනෙක් පදක්කම දිනා දීමට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක සමිත දුලාන් අද (25) සමත් වුනේ F64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීම ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කරමිනුයි.

උදෑසන පැවති එම තරගයේ දී ඔහු මීටර් 64.09ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ අතර ඔහුගේ එම දස්කම F64 කාණ්ඩයේ දෙවැනි තැන පසු වූවත්, F44 කාණ්ඩයේ ක්‍රීඩා උළෙල වාර්තාව බිඳ හෙළීමට ඔහුට හැකි වුනා.

අද දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිනේෂ් ප්‍රියන්ත, මදුරංග සුබසිංහ සහ පාලිත බණ්ඩාර වැනි ප්‍රබල ක්‍රීඩකයින් තරග වැදීමට නියමිතව තිබෙනවා.

එම තරග ඇතුළු සමස්ත තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<