මාස 9කට පසුව දකුණු අප්‍රිකාවෙන් ක්‍රිකට් සංචිතයක්

එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020

349

නොවැම්බර් මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් තරග වදිනු ලබන දකුණු අප්‍රිකානු සංචිතය නම් කර ඇත. 

ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත මෙම දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර තරග සංචිතයේ නායකත්වය හිමිව තිබෙන්නේ දක්ෂ කඩුලු රකින පිතිකරුවෙකු වන Quinton de Kock වෙතයි. ලොව පුරා පැතිර ගිය සහ තවමත් පැතිරෙමින් තිබෙන කොරෝනා වෛරස තත්වය නිසාවෙන් අනෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් මෙන්ම දකුණු අප්‍රිකානු කණ්ඩායමට ද ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි කිහිපයක් අහිමිව ගිය අතර මාස 9ක විරාමයකට පසුව නිකුත් කළ පළමු දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචිතය මෙය වේ. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

ඔවුන් අවසන් වරට සාර්ථකව අවසන් කළ ක්‍රිකට් තරගාවලිය වූයේ දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පසුගිය පෙබරවාරි සහ මාර්තු මාස වලදී පැවති ක්‍රිකට් තරගාවලිය වන අතර ඉන්පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් වෙනුවෙන් ඉන්දියාවට ගිය නමුත් කොරෝනා වෛරසයේ බලපෑම නිසාවෙන් එම තරගාවලිය අතරමග නවතා දමන ලදි. 

දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර සංචිතයන් තුළ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු බවට පත්ව සිටි Dale Steyn සහ Imran Tahir මෙම සංචිතය සඳහා ඇතුළත්ව නොමැති වීම සුවිශේෂී වේ. වයස අවුරුදු 28ක් වන තුන් ඉරියව් ක්‍රීඩක Glenten Sturrman පළමු වරට දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචිතයක් සඳහා කැඳවීමක් හිමිකර ගෙන තිබේ. 

නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් මස 09 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙන මෙම තරගාවලි දෙක ක්‍රියාත්මක වන්නේ කිසිඳු ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිවයි.  

මේ සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම නොවැම්බර් මස 16 වැනිදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරට පැමිණීමට නියමිතව ඇති අතර එහිදී ඔවුන් Vineyard Hotel හි නවාතැන් ගෙන සෞඛ්‍යාරක්ෂිත වටපිටාවකට අනුගත වෙමින් Western Province Cricket Club Ground හිදී සිය පුහුණුවීම් කටයුතු සිදුකිරීමටත්, අන්තර් සංචිත පුහුණු තරග ද්විත්වයක් පැවැත්වීමටත් කටයුතු සූදානම් කර ඇත. 

මෙම තරගාවලිය පැවැත්වීම, මේ දිනවල දැඩි අභ්‍යන්තර ගැටලු රැසකට මෙන්ම මූල්‍ය ගැටලුවකට ද මුහුණ පා සිටින දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් හට මහත් සහනයක් වනු ඇති අතර තරගාවලියේ සියලුම තරග Cape Town සහ Paarl හිදී පැවැත්වීමට නියමිතව ඇත.

මාර්තු මාසයේ ඉන්දියානු සංචාරය අවසන් කර පැමිණීමෙන් පසු දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන මුල්ම තරගාවලිය මෙය වන අතර කොරෝනා වසංගතයෙන් පසු එංගලන්ත කණ්ඩායම විදේශයේ සංචාරය කරන මුල්ම අවස්ථාව ද මෙයයි. 

දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර සංචිතය : Quinton de Kock (නායක), Temba Bavuma, Junior Dala, Faf du Plessis, Bjorn Fortuin, Beuran Hendricks, Reeza Hendricks, Heinrich Klaasen, George Linde, Keshav Maharaj, Janneman Malan, David Miller, Lungi Ngidi, Anrich Nortje, Andile Phehlukwayo, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Lutho Sipamla, Jon-Jon Smuts, Glenton Stuurman, Pite van Biljon, Rassie van der Dussen, Kyle Verreynne. 

මෙම තරගාවලිය සඳහා තරග වදිනු ලබන එංගලන්ත සංචිතය මීට දින කිහිපයකට ඉහත දී නම් කළ අතර එම සංචිතයන් පහත පරිදි වේ. 

එංගලන්ත විස්සයි විස්ස සංචිතය : Eoin Morgan (නායක), Moeen Ali, Jofra Archer, Jonathan Bairstow, Sam Billings, Jos Buttler, Sam Curran, Tom Curran, Chris Jordan, Dawid Malan, Adil Rashid, Jason Roy, Ben Stokes, Reece Topley හා Mark Wood. 

එංගලන්ත එක්දින සංචිතය : Eoin Morgan(නායක), Moeen Ali, Jonathan Bairstow, Sam Billings, Jos Buttler, Tom Curran, Lewis Gregory, Liam Livingstone, Adil Rashid, Joe Root, Jason Roy, Olly Stone, Reece Topley, Chris Woakes හා Mark Wood. 

තරග කාලසටහන 

නොවැම්බර් 27 – පළමු විස්සයි විස්ස තරගය – Cape Town හිදී 

නොවැම්බර් 29 – දෙවන විස්සයි විස්ස තරගය – Paarl හිදී 

දෙසැම්බර් 01 – තුන්වන විස්සයි විස්ස තරගය – Cape Town හිදී 

දෙසැම්බර් 04 – පළමු එක්දින තරගය – Cape Town හිදී 

දෙසැම්බර් 06 – දෙවන එක්දින තරගය – Paarl හිදී 

දෙසැම්බර් 09 – තෙවන එක්දින තරගය – Cape Town හිදී 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<