දකුණු අප්‍රිකානු පිතිකරුවන් තරගයේ පාලනය සියතට ගනියි

339
Stephen Cook
South African batsman Stephen Cook (R) raises his bat as he celebrates after scoring a century (100 Runs) during the second day of the first cricket Test match between South Africa and Sri Lanka on December 28, 2016 at the Port Elizabeth stadium, South Africa. / AFP PHOTO / GIANLUIGI GUERCIA

පසුගිය 26 වැනිදා ටෙස්ට් තරග ජයග්‍රහණයක් පිලිබඳ සියුම් බලාපොරොත්තුවක් ද සහිතව ආරම්භ වුනු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ප්‍රථම ටෙස්ට් තරගයේ තෙවැනි දිනය (28) ගෙවී යනවිට එම සියලු බලාපොරොත්තු බොඳ කරලීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් සමත්ව සිටියි. තරගය නිමා වීමට තවත් දින දෙකක් ඉතිරිව ඇති නිසා ප්‍රථම ඉනිමේදී අසාර්ථක වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට තරගය ජය පරාජයෙන් තොරව කෙලවර කර ගැනීමට ද අසීරු තත්වයක් දැන් උදාවී තිබේ.

ඊයේ දිනය නිමාවන විට කඩුලු 7ක් දැවී ලකුණු 181ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම ගැලවුම්කරුවා බවට පත්ව සිටියේ නවක පිතිකරු ධනංජය සිල්වායි. ඒ වන විට ඔහු සාර්ථක පිතිකරණයක යෙදෙමින් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 43කි. එබැවින් ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකානු ප්‍රථම ඉනිම අසලකටවත් ලඟා වීමට නම් ඔහුගේ සාර්ථකත්වය අනිවාර්ය සාධකයක් බවට පත්ව තිබුණි. නමුත් අද උදෑසන වර්නන් ෆිලැන්ඩර් යැවූ ප්‍රථම පන්දුවෙන්ම කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් අතට උඩපන්දුවක් ලබා දෙමින් ධනංජය සිල්වා දැවී ගියේ ශ්‍රී ලංකාවට තිබූ අවසන් පිතිකරණ බලාපොරොත්තුව ද බොඳ කරමිනි.

මුල් දින දෙකේදී පන්දුවෙන් දස්කම් දැක්වූ සුරංග ලක්මාල්ට ද අද පිත්තෙන් වැඩි යමක් කිරීමට දකුණු අප්‍රිකානුවන් ඉඩ ලබා දුන්නේ නැත. ෆිලැන්ඩර්ගේ පන්දුවක් හමුවේ කයිල් ඇබට් අතට පහසු උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන විට ඔහු ලබා සිටියේ ලකුණු 4ක් පමණි. කෙසේවෙතත් අවසන් පිතිකරුවන් යුගලය ලෙස ක්‍රීඩා කළ දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් පරීක්ෂාකාරී පිති හරඹයක යෙදීම නිසා ශ්‍රී ලංකා පිළේ මුළු ලකුණු තත්වය 200 පසුකර යාමට හැකිවිය. දුෂ්මන්ත චමීර හතරේ පහර දෙකක් සමගින් ලකුණු 19ක් රැස් කලේය. තම පන්දුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් අන්දමන්ද කළ වර්නන් ෆිලැන්ඩර් ලකුණු 45ට කඩුලු 5ක් දවාලීය. ඔහුට මනා සහයෝගයක් ලබා දුන් කයිල් ඇබට් බිඳ හෙලූ කඩුලු ගණන 3කි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම දැක්වුනේ සියල්ලන්ම දැවී ලකුණු 205ක් වශයෙනි.

මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී ධනංජය සිල්වා තනිවම සටනක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (27) නිමාවට පත්විය.

ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය නිසා ලකුණු 81ක වාසියක්ද සමගින් දෙවන ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානුවන් ඉතාමත් නිදහසේ තම ඉනිම ගොඩ නැගීම ආරම්භ කළහ. වර්ෂාවෙන් පමණක් කිහිප වරක් දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට බාධා සිදුවූවත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අද දිනයේදී එතරම් තර්ජනයක්  ඇති නොවීය. ප්‍රථම ඉනිමේ ශතක සබඳතාවයක් පැවැත්වූ ආරම්භක පිතිකරුවන් දෙදෙනා දෙවැනි ඉනිමේදී ද පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 116ක් එක් කිරීමට සමත් විය. දකුණු අප්‍රිකානු මුල් පෙළ පිතිකරුවන් සියලු දෙනාම පාහේ අද වගකීම සහගතව පිතිකරණයේ යෙදුනු අතර ඩීන් එල්ගාර් අර්ධ ශතකයක් ද, හෂීම් අම්ලා ලකුණු 48ක් ද වාර්තා කළේය.

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේ වීරයා බවට පත්වූ ස්ටීවන් කුක් අද තම කෙටි ටෙස්ට් දිවියේ තුන්වැනි ශතකය ලෙස ලකුණු 117ක් රැස් කළේය. ඔහුගේ ඉනිම හතරේ පහර 11කින් රස ගැන්විනි. දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යාමත් සමඟ අනෙක් අන්තයෙන් පන්දු යැවූ ධනංජය සිල්වා, ජේ. පී. ඩුමිනි සහ ටෙම්බා බවුමා නැවතත් ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් වූ අතර එය දකුණු අප්‍රිකානුවන් මොහොතකට තැති ගන්වන්නට ප්‍රමාණවත් විය.

නමුත් දීර්ඝ පිතිකරණ බලඇණියක් සහ ප්‍රථම ඉනිමේ වාසියක් ද සහිතව සිටි දකුණු අප්‍රිකානුවන්ව දණ ගස්වන්නට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කඩුලු 5ක් දැවී ගොස් තිබූ ඒ මොහොතේ පිටියේ එක්වුනු නායක ෆැෆ් ඩූ ප්ලෙසිස් සහ ක්වින්ටන් ඩි කොක් තෙවැනි දිනයේ නිමාව සනිටුහන් වනතෙක්ම නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 351ක් දක්වා ඉහළට ගෙන ආවේය.

මේ වන විටත් කඩුලු 5ක් අතැතිව ලකුණු 432ක් ඉදිරියෙන් පසුවන දකුණු අප්‍රිකානුවන් හෙට දිවා විවේකය පෙර ඉනිම අත්හිටුවීමට බොහෝදුරට ඉඩකඩ ඇත. එබැවින් ඉතාමත් දැවැන්ත ඉලක්කයක් හඹා යාමට සිදුව ඇති ශ්‍රී ලංකා පිතිකරුවන්ට මෙම තරගය බේරා ගැනීමට නම් අන් කවරදාකටත් වඩා සැලකිල්ලෙන් පන්දුවට පහර දීමට සිදුව තිබේ. නමුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නමගිය වේග පන්දු යවන්නන් තිදෙනෙකුට එරෙහිව ඔවුන්ටම හුරුපුරුදු තණතීරුවක් මතදී එක කිසිසේත් ලේසි පහසු වන්නේ නම් නැත.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 286 (පන්දුවාර 98.5): ජේ. පී. ඩුමිනි 63, ස්ටීවන් කුක් 59, ඩීන් එල්ගාර් 45, ෆැෆ් ඩු ප්ලෙසිස් 37, ක්වින්ටන් ඩි කොක් 37, හෂීම් අම්ලා 20, සුරංග ලක්මාල් 5/63, රංගන හේරත් 2/48, නුවන් ප්‍රදීප් 2/66.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 64.5): ධනංජය ද සිල්වා 43, ඇන්ජෙලෝ මැතිව්ස් 39, දිනේෂ් චන්දිමාල් 28, රංගන හේරත් 24, දුෂ්මන්ත චමීර 19, වර්නන් ෆිලැන්ඩර් 5/45, කයිල් ඇබට් 3/63.

දකුණු අප්‍රිකා (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 351 (පන්දුවාර 80): ස්ටීවන් කුක් 119, ඩීන් එල්ගාර් 52, හෂීම් අම්ලා 48, ක්වින්ටන් ඩි කොක් 42*, ෆැෆ් ඩු ප්ලෙසිස් 41*, ධනංජය ද සිල්වා 2/74, සුරංග ලක්මාල් 1/57, නුවන් ප්‍රදීප් 1/65.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට