3TC ශූරතාව ඩිවිලියස්ගේ කණ්ඩායමට

1870
3TC Solidarity Cup
Cricket South Africa Twitter

COVID-19න් පීඩා විඳින රෝගීන් වෙනුවෙන් පිහිටවූ අරමුදලක් සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ 3TC Solidarity කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හීදී පැවැත්විය.

වෙනස්ම තරග ආකෘතියක් සහිත මෙය තරග 3කින් සමන්විත තුන්කොන් තරගාවලියක් වශයෙන් පැවති අතර ඊට තරග 3ක් අන්තර්ගත විය. එහි දී Eagles කණ්ඩායම ඒබී ඩිවිලියස් විසින් ද, Kites කණ්ඩායම ටෙම්බා බවුමා විසින් ද, Kingfishers කණ්ඩායම රීසා හෙන්ඩ්‍රික්ස් විසින් ද මෙහෙයවනු ලැබීය.

එහි දී එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 8 දෙනෙකු ක්‍රීඩා කළ අතර කණ්ඩායමක් පන්දුවාර 6 බැගින් ක්‍රීඩා කරනු ලැබීය. මෙහි තවත් විශේෂත්වයක් වූයේ දෙවනුවට පන්දුවට පහර දෙන කණ්ඩායම තම ජයග්‍රාහී ඉලක්කය සපුරා ගනු ලැබූව ද, ඔවුන් පන්දුවාර 6ම පිතිකරණයේ යෙදිය යුතු වීමයි.

>>“මගේ ඇඟේ හැමතැනම ලේ තිබුණා” – ඩිවිලියර්ස්<<

තරගාවලියේ පළමු තරගය වශයෙන් පැවති Kingfishers හා Kites කණ්ඩායම් අතර තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් Kingfishers කණ්ඩායම තම නියමිත පන්දුවාර 6 තුළ දී කඩුලු 2ක් දැවී ලකුණු 56ක් රැස් කළේය. 

මෙහි දී වැඩිම ලකුණු ලාභීන් බවට පත්වූ යෙන්නෙමන් මලාන් හා රීසා හෙන්ඩ්‍රික්ස් පිළිවෙළින් ලකුණු 31ක් හා 20ක් රැස් කළේය. ඒ සඳහා දෙදෙනාම වැය කර තිබුණේ පන්දු 16 බැගිනි. ඉනිමේ එකම කඩුලු ලාභියා බවට පත් වූ අන්රිත් නොකියා එක කඩුල්ලක් දවා ගත් අතර අනෙක් කඩුල්ල දැවී ගියේ දුවද්දී දැවී යාමක් ලෙසිනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kites කණ්ඩායම නියමිත පන්දුවාර 6 තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 80ක්ම රැස් කළේ Kingfishers කණ්ඩායමට වඩා වැඩිපුර ලකුණු 34ක් රැස් කරමිනි. එහෙත් තරගයේ ජයග්‍රහණය ඉතිරි වී ඇති කඩුලු සංඛ්‍යාව මත ලබා දෙන හෙයින් ඔවුන්ට කඩුලු 6ක පහසු ජයක් හිමි විය. 

Kingfishers ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඩ්වේන් ප්‍රිටෝරියස් පන්දු 17කින් ලකුණු 50ක් රැස්කළ අතර පන්දු යැවීමේ දී ස්ටූර්මන් හා න්ටිනී එක් කඩුල්ල බැගින් දවාලනු ලැබීය.

>>දකුණු අප්‍රිකානු ප්‍රබලයෙකුගෙන් ජාතිවාදීන්ට පණිවිඩයක්<<

දෙවන තරගය පැවතියේ Kites හා Eagles කණ්ඩායම් දෙක අතරයි. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් Kites කණ්ඩායම තම නියමිත පන්දුවාර 6 තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 58ක් වාර්තා කළ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජේ. ජේ. ස්මට්ස් පන්දු 19ක දී ලකුණු 36ක් වාර්තා කළේය. පන්දු යැවීමේ දී ඇන්ඩිලේ පෙහ්ලුක්වායෝ එක් කඩුල්ලක් දවාලනු ලැබීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Eagles කණ්ඩායම නියමිත පන්දුවාර 6 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 80ක්ම රැස් කළේ Kites කණ්ඩායමට වඩා වැඩිපුර ලකුණු 36ක් රැස් කරමිනි. ඒ අනුව Eagles කණ්ඩායම මෙම තරගය ජය ගනු ලැබුවේ කඩුලු 5කිනි.

තරගාවලියේ තෙවැනි හා අවසන් තරගය Eagles හා Kingfishers කණ්ඩායම් දෙක අතර පැවති අතර ඉන් ලකුණු 9ක ජයක් වාර්තා කිරීමට Eagles කණ්ඩායම සමත් විය. 

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් Eagles කණ්ඩායම තම නියමිත පන්දුවාර 6 තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 66ක් රැස්කළ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඒඩ්න් මාක්‍රම් පන්දු 23ක දී ලකුණු 47ක් වාර්තා කළේය. 

>>කොරෝනා සුව වීමෙන් පසුව භට්ටී පාකිස්තාන කණ්ඩායම සමඟ එක්වෙයි<<

නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Eagles කණ්ඩායමට නියමිත පන්දුවාර 6 තුළ කඩුලු 3ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 57ක් පමණි. එහි දී හුදකලා ඉනිමක් ක්‍රීඩා කල ෆෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 27ක් ලබා ගත්තේ පන්දු 16ක් පමණක් ඒ සඳහා වැයකරමිනි. පන්දු යැවීමේ දී බියෝන් ෆෝටෙන් හා ලුන්ගි එන්ගිඩි එක් කඩුල්ල බැගින් දවාලීය. මේ අනුව තරගයෙන් ලකුණු 9ක ජයක් Eagles කණ්ඩායමට හිමි විය.

තරගාවලියේ දී කණ්ඩායම් ලබා ගත් සමස්ත දක්ෂතා මත පදක්කම් මගින් මෙහි ජයග්‍රාහකයින් තීරණය කළ අතර එහි දී පළමු ස්ථානය දිනා ගත් ඒබී ඩිවිලියස්ගේ නායකත්වයෙන් යුත් Eagles කණ්ඩායමට රන් පදක්කමත්, දෙවන ස්ථානය දිනා ගත් ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් Kites කණ්ඩායමට රිදී පදක්කමත්, තෙවැනි ස්ථානය දිනා ගත් රීසා හෙන්ඩ්‍රික්සගේ නායකත්වයෙන් යුත් Kingfishers කණ්ඩායමට ලෝකඩ පදක්කමත් හිමි විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<